මාලිගාවත්තේ වකුගඩු රෝහල ජනපති අතින් අද විවෘත වේ

මාලිගාවත්තේ වකුගඩු රෝහල ජනපති අතින් අද විවෘත වේ

මාළිගාවත්ත ජාතික වකුගඩු රුධිර කාන්දුපෙරණ සහ වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) විවෘත කැරේ.

රුපියල් කෝටි 45 ක වියදමකින් ඉදි කළ මේ වකුගඩු රෝහලෙහි ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් හතළිස් කෝටි තුන් ලක්‍ෂයක් ද, රුපියල් තුන්කෝටි අසූහතර ලක්ෂ අසූදහසකට අධික මුදලක් වැයකර වෛද්‍ය උපකරණ ද මිලදී ගෙන තිබේ.

සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ඉදිකළ මේ රෝහල ඇඳන් 111 ක ධාරිතාවකින් යුක්තය.

වසරකට වකුගඩු බද්ධ කිරීම් සියයක් පමණ ද, රුධිර කාන්දු පෙරණ කටයුතු හාරදහසක් පමණ ද මෙම රෝහලෙන් සිදුකිරීමට නියමිත අතර වකුගඩු රෝග විමර්ශනය ද, වකුගඩු රෝග නිශ්චය කිරීම් ද මෙහිදී සිදු කැරේ.

වෛද්‍ය උපාධි අපේක්‍ෂකයන්ට සහ පශ්චාත් වෛද්‍ය උපාධි විද්‍යාර්ථීන්ට මේ රෝහල භාවිතා කරමින් අධ්‍යයන කටයුතු හා පර්යේෂණ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදෙන්නේ යැයි ද අමාත්‍යංශය පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා