බම්බලපිටිය මුහුදු තීරයේ කළ පහරදීම

බම්බලපිටිය මුහුදු තීරයේ කළ පහරදීම

11 වතාවක් පොලු පහර දෙන ආකාරයේ
රූප රාමු එක් නාළිකාවක් විකාශය කළා

- නි. පොලිස්පති අනුර සේනානායක

සැකකාර පොලිස් නිලධාරීන් මියගිය අයට සිවු වතාවක් පොල්ලකින් පහරදීමේ දර්ශනය එකොළොස් වතාවක් හා හත් වතාවක් පහර දෙන අයුරින් රූපවාහිනී නාලිකා දෙකකින් විකාශනය කිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වූ බව පොලිස් මූලස්ථානයේ අපරාධ හා සංවිධානාත්මක අපරාධ පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවැසීය.

ඉකුත් 29 වැනිදා බම්බලපිටිය මුහුදු තීරයේදී දියේ ගිලී මියගිය බව පැවැසෙන රත්මලාන ඉන්ද්‍රජෝති මාවතේ් පදිංචි බාලවර්ණන් සිවකුමාර් නැමැත්තාගේ මරණය සම්බන්ධව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ ඊයේ (13) පැවැත්වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා එසේ පැවැසීය.

මියගිය අය සිහි මඳ පුද්ගලයකු බව දනිමින් සැකකාර පොලිස් නිලධාරීන් පොලුවලින් ඔහුට පහරදීම කිසිසේත් පොලිස් නිලධාරීන් ලෙසට නොකළ යුත්තක් හා එය කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහේස්ත්‍රාත්වරයාට ඊයේ (13) පැවැසීය.

සැකකාර පොලිස් නිලධාරීන් පොල්ලකින් මරණකරුට පහරදීම හා පොලිස් නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා මෙම මරණය සිදුවී ඇති බව අනුර සේනානායක මහතා මහේස්ත්‍රාත්වරයාට ඊයේ (13) වැඩිදුරටත් දන්වා සිටියේය.

සංරක්ෂණය නොකළ දර්ශන මඟින් විනාඩි 5 1/2ක් තුළ සැකකාර පොලිස් නිලධාරීන් සිව් වතාවක් මරණකරුට පොලුවලින් පහරදෙන දර්ශනය සිරස නාළිකාවෙන් එකොළොස්වතාවක් හා ටී.එන්.එල්. නාළිකාව මඟින් හත් වතාවක් පහරදෙන අයුරු දැක්වෙන ලෙසට ප්‍රදර්ශනය කළ බව මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටි නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සංස්කරණය නොකළ දර්ශනවල ඇතුළත්වන අයුරින් එම සිද්ධිය එම නාළිකා හරහා නැවත විකාශනය කිරීමට අධිකරණය මඟින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සාධාරණ බව බැලූ බැල්මට පෙනීයන බව මෙහිදී ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධව එකවර නියෝගයක් කළ නොහැකි බවත් එම දර්ශන සංස්කරණය කළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් අධිකරණයට කැඳවා සංස්කරණය නොකළ හා සංස්කරණය කළ දර්ශන ඔවුන් ඉදිරියේ නැරැඹීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කරන බවත් පැවැසීය.

අදාළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් අධිකරණයට කැඳවීම සඳහා අදාළ ඉල්ලීම් ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඊයේ (13) දැන්වීය.

මියගිය තැනැත්තා ද්‍රවිඩ ජාතිකයකු බැවින් ඔහුට සිව්වරක් පහර දෙන අයුරු එකොළොස් වතාවක් හා හත් වතාවක් පහර දෙන අයුරින් ප්‍රදර්ශනය කිරීමෙන් ද්‍රවිඩ ජාතිකයන්ට හිරිහැර කරනවා වැනි ආකල්පයක් ඇතැමුන් තුළ ඇතිවීමට මින් ඉඩ සැලසෙන බවද නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් පැවැසීය.

නව පොලිස්පතිවරයා සැකකාර පොලිස් නිලධාරීනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇති බවත් ඒ අනුව සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ හා එම කණ්ඩායම භාරව ගිය පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කැර ඇති බවත් බම්බලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වව්නියාව පොලිසියට මාරුකැර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මහේස්ත්‍රාත්වරයාට ඊයේ (13) දන්වා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීක් මත සැකකාර පොලිස් නිලධාරීන් සම්බන්ධව සිදුකෙරෙන විනය පරීක්ෂණය සඳහා බන්ධනාගාරය තුළදී ඔවුන්ගෙන් කටඋත්තර ලබාගැනීමට සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසයට මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (13) අවසර ලබා දෙනු ලැබිණි.

සිද්ධිය සම්බන්ධව පුද්ගලයන් අට දෙනෙකුට අධික පිරිසකගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව පැවැසූ අනුර සේනානායක මහතා මහේස්ත්‍රාත්වරයාට මෙසේද දන්වා සිටියේය.

මියගිය පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ ගරාජයක සේවය කැර තිබෙනවා. ඔහු සිහි විකල් පුද්ගලයෙක්. පසුගිය 28 වැනිදා ගරාජයට ගොස් ඔහු සිහි විකල්වැඩ සිදුකළ නිසා එම ස්ථානයේ පුද්ගලයන් ඒ බව බම්බලපිටිය පොලිසියට දන්වා තිබෙනවා. පොලිසිය ඒ ස්ථානයට එනවිට මියගිය අය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

පසුදින එනම් 29 වැනිදා උදේ මියගිය අය උඩුකය නිරාවරණව සිට ගාලුපාරේ යන වාහන හසුරුවීමේ නිරතවෙලා තිබෙනවා. මරණකරු මුහුදු වෙරළ දෙසට ගොස් ඇත්තේ ඉන් පසුවයි.

කොටුව සිට පාණදුර බලා ධාවනය වූ දුම්රිය බම්බලපිටියේ නවත්වා පිටත්වීමට සූදානම් වූ අවස්ථාවේ මරණකරු රේල්පාර දෙපැත්තට පනිමින් දුම්රියට ගල්වලින් ගසා තිබෙනවා. එම පහරදීම්වලින් දුම්රියට අලාභහානි සිදුවී ඇති අතර දුම්රියේ ගමන්ගත් මගීන්ටද හානි වී තිබෙනවා. ඉන්පසු දුම්රියේ සිටි මගීන්ද දුම්රියෙන් බැස මරණකරුට පහරදීමට පැමිණ තිබෙනවා. මරණකරු සමඟ කතා කිරීමට ගිය යුධ හමුදා නිලධාරීන් දෙදෙනකුටද මරණකරු ගල්වලින් පහර දී තිබෙනවා.

ඒ අතර බම්බලපිටිය පොලිසියට මේ සිද්ධිය පිළිබඳව දුරකතන ඇමතුම් කිහිපයක්ම ලැබී තිබෙනවා. ඉන් පසුවයි බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් මේ ස්ථානයට ගියේ.

ටී.එන්.එල්. රූපවාහිනී නාළිකාව නරඹන විට විශාල පිරිසක් මේ සිද්ධිය නරඹන බව පෙනුණා. එම පිරිස මරණකරුට පහර දීමට සූදානම් වන විට පොලිසිය එය වැළැක්වීමට ක්‍රියාකරන අයුරුද පෙනෙනවා.

එවිට මරණකරු අල්ලා ගැනීමට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යන අයුරුද එම දර්ශනයෙන් පෙනෙනවා.

ටී.එන්.එල්. ආයතනයට අප ස්තුතිවන්ත වෙනව මේ දර්ශන පටිගත කළාට. එම දර්ශන දැන් සාක්කි වශයෙන් තිබෙනවා.

සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා මරණකරුට පොල්ලකින් පහර දෙන අයුරු ටී.එන්.එල්.රූපවාහිනී දර්ශන මඟින් අප දුටුවා. එහි සිටි සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ඔහුගේ තනතුරට නොගැළපෙන අයුරු හැසිරුණු ආකාරයද එම දර්ශන මඟින් පෙනී යනවා.

පොලිස් නිලධාරීන් පොල්ලකින් මරණකරුට පහරදීම හා ඔවුන්ගේ නොසැළකිල්ල නිසා මේ මරණය සිදුව ඇති බවට විමර්ශනවලින් පැහැදිලි වෙනවා.

සිද්ධිය නැවත කැඳවීම ලබන 19 වැනිදාට කල් තැබිණි.

පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර කරවිට, පොලිස් පරීක්ෂක රාජපක්ෂ යන මහත්වරු පෙනී සිටියහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා