ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් තුන්හෙළ ව්‍යාපාරයෙන් ‘සදහම්’ යාත්‍රාවක්

ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් තුන්හෙළ
ව්‍යාපාරයෙන් ‘සදහම්’ යාත්‍රාවක්

මුල්කිරිගල රජමහ විහාරයෙන් අද ගමන් ඇරැඹේ

අභියෝග මැද ලබාගත් නිදහස ආරක්ෂා කැර ගනිමින් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට හැකිවේවායි යන ප්‍රාර්ථනය ඇතිව ‘සඳහම් යාත්‍රාව‘ මුල්කිරිගල රජ මහා විහාරයෙන් අද (14) ගමන් ආරම්භ කරයි.

ස්වාමීන් වහන්සේලා දෙසීය නමකගේ සෙත් පිරිත් සජ්ජායනයෙන් පසුව මුල්කිරිගල රජමහා විහාරයෙන් ආරම්භ කැරෙන සඳහම් යාත්‍රාව සිවු දිනක් සංචාරය කිරීමෙන් පසු 17 දින සවස රත්නපුර සමන් දේවාල භූමියට පැමිණීමට නියමිතය.

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ මේ නිදහස ලබාදීමට ක්‍රියාකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සිවුවැනි පදවි ප්‍රාප්තිය හා උපන්දිනය නිමිති කොට ගෙන සහ සියලු දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කරමින් තුන්හෙළ ජාතික ව්‍යාපාරය මේ සඳහම් යාත්‍රාව වැඩසටහන සංවිධානය කරයි.

මුල්කිරිගල රජ මහා විහාරයෙන් ඇරැඹෙන සඳහම් යාත්‍රාව වීරකැටිය, තංගල්ල, බෙලිඅත්ත, වැව්රුකන්නල හරහා දෙවුන්දර, මාතර වැලිගම, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, කළුතර, පානදුර, මොරටුව, බෙල්ලන්විල, මහරගම, කොට්ටාව, හෝමාගම, පාදුක්ක, අවස්සාවේල්ල, ඇහැළියගොඩ, හරහා රත්නපුර සමන් දේවාල භූ®මියට ළඟා වීමට නියමිතය.

මෙහිදී මුල්කිරිගල රජමහා විහාරය, මාතර බෝධිය, කළුතර බෝධිය, බෙල්ලන්විල, රජමහා විහාරය, හා සඳහම් යාත්‍රාව අවසන් වන දිනයේ දී සමන්දේවාලයේදී ස්වාමීන් වහන්සේලා පන්සීය නමකගේ සහභාගීත්වයෙන් ජය පිරිත් සජ්ජායනයක්ද පැවැත්වේ.

සඳහම් යාත්‍රාව ගමන් කරන මාර්ග දෙපස පදිංචි ජනතාවට ජාතික හා බෞද්ධ කොඩි එසවීමෙන් සහය ලබා දෙන මෙන් සහ එම අවස්ථාවලට සහභාගී වන මෙන් තුන්හෙළ ජාතික ව්‍යාපාරය ආරාධනා කැර සිටියි.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදී තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ සභාපති අග්‍රහැර කස්සප හිමියෝ මේ බව අනාවරණය කළහ.

තුන්හෙළ ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය අශෝක කමලදාස, ජාතික සංවිධායක, සුගිෂ්වර බණ්ඩාර හා ගිහි පැවිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙහිදී අදහස් දැක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා