මියන්මාර් රාජ්‍ය නායක වෙනුවෙන් විශේෂ දළදා දැක්මක්

මියන්මාර් රාජ්‍ය නායක වෙනුවෙන් විශේෂ දළදා දැක්මක්

මේදිනවල මෙරට පැමිණ සිටින මියන්මාර් රාජ්‍ය නායක ජනරාල් තාන් ශ්වේ මැතිතුමා ඇතුළු එරට දූත පිරිස වෙනුවෙන් විශේෂ දළදා දැක්මක් ඊයේ (13) පෙරවරුවේදී පැවැත්විණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියද මේ විශේෂ දළදා දැක්ම අවස්ථාවේදී දළදා සමිඳු වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්හ.

ථේරවාදී බුදුදහමින් පෝෂණය ලබා ඇති මියන්මාරය සහ ශ්‍රී ලංකාව ආගමික වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද ඉතා දැඩිව බැඳී ඇති රාජ්‍යයන් දෙකක් බවට ඉතිහාසය සාක්ෂි දරයි.

අද මියන්මාරය ලෙසින් හඳුන්වන එදා බුරුම දේශය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා පොළොන්නරු රාජධානි සමය දක්වා ම දිවයයි. පරසතුරු සොළීන් පරාජය කිරීමට විජයබා රජුට බුරුම රාජ්‍යයේ ආධාර ලැබුණු බව ඉතිහාසයේ දැක් වේ.

එසේම කෝට්ටේ සිරි පැරකුම් රජුගේ සමයේ දී බුරුමයේ සිට මෙරටට පැමිණි ථේරවාදී හිමිවරුන් විසින් උපසම්පදාව පිහිට වූ බවද සඳහන් වේ.

එසේම කන්ද උඩරට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රාජ්‍ය කාලයේ දී වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් ගේ ආරාධනයෙන් බුරුම රටින් උපසම්පදාව රැගෙනවිත් තිබේ.

ලංකාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් බුරුමයේ රාමඤ්ඤ දේශයට ගොස් උපසම්පදාව රැගෙනවිත් පිහිට වූ නිකාය ලෙස රාමඤ්ඤ නිකාය සැළකෙන අතර බුරුමයේ අමරපුර දේශයට ගොස් උපසම්පදාව රැගෙනවිත් පිහිටවූ නිකාය ලෙස අමරපුර නිකාය සැළකේ.

මියන්මාර් රාජ්‍ය නායක ජෙනරාල් තාන් ශ්වේ (Than Shwe)මහතා ගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතීතයේ පටන් දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික මෙන්ම ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කිරීමේ සුවිශේෂී අවස්ථාවක් සේ සැළැකේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා