ජනරාල් සරත් ෆොන්සේකා ගේ අස්වීම් ලිපිය ජනපති භාරගනී

ජනරාල් සරත් ෆොන්සේකා ගේ අස්වීම් ලිපිය ජනපති භාරගනී

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට අවසර ඉල්ලා ලබාදුන් ලිපිය ඒ මොහොතේම භාර ගත් ජනාධිපතිවරයා, ඊට ඉක්මනින් පිළිතුරු ලිපිය යොමු කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට නියෝග කර තිබේ.

දෙසැම්බර් මස 01 දායින් පසුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් විශ්‍රාම ගන්නා බවට ජනරාල් සරත් ෆොන්සේකා මහතා ලිපියක් මඟින් පෙරේදා (12) ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙන අතර ඒ මොහොතේම අදාළ ලිපිය මහින්ද රාජපක්ෂ මහතා බාර ගෙන ඇත.

සරත් ෆොන්සේකා මහතා වෙත යැවීමට නියමිත ලිපිය හැකි ඉක්මනින් යැවීමට පියවර ගෙන තිබෙන බවත්, ඕනෑම අවස්ථාවකදී යමක් වෙනුවෙන් පිළිතුරු සැපැයීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත් ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතු වු කරුණු ද ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය මඟින් ඉදිරිපත් කැර ඇතැයි සඳහන් වේ.

පසුගිය ජුනි මස 9 දා පාර්ලිමේන්තුවේ දී සම්මත කැර ගත් විශේෂ පනතක් මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර සඳහා පත්කර ගනු ලැබීය.

මේ ඉල්ලා අස්වීම පිළිබඳව සරත් ෆොන්සේකා මහතා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා ආරක්ෂක ලේකම් ආචාර්ය ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ටද ලිපි මඟින් දැනුම් දී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා