රජයෙන් සැපැයූ සියලු පහසුකම් සහිතව මුලතිව්හි නැවත පදිංචියට 28,000ක් යති

රජයෙන් සැපැයූ සියලු පහසුකම් සහිතව
මුලතිව්හි නැවත පදිංචියට 28,000ක් යති

වසර තිහකට ආසන්න කාලයක් එල්. ටී. ටී. ඊ සංවිධානය සිය මූලස්ථානය වශයෙන් පවත්වාගෙන ගිය මුලතිව් දිස්ත්‍රික්කය තුළ සාමාන්‍ය ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කැර තිබේ.

එහි මුල් හිමිකරුවන්ව සිට, ත්‍රස්තවාදී කටයුතු හේතුවෙන් ගම්බිම් අතහැර ගිය පුද්ගලයන් 28,850 කට ඔවුන්ගේ ඉඩකඩම්වල හිමිකම් නැවත ලබාදී පදිංචි කරවීම ආරම්භ කළ බව උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පැවැසීය.

ත්‍රස්තවාදීන් පසුගිය කාලයේදී මේ ප්‍රදේශවල ජීවත් වූ අයගේ දේපළ බලෙන් ලබා ගනිමින් එම, ඉඩකඩම්වල බිම් බෝම්බ අතුරමින් අධි ආරක්ෂිත කළාප බවට පත්කැර තිබිණි.

ආරක්ෂක හමුදා ආරම්භ කළ මානුෂීය මෙහෙයුම ඔස්සේ එම ප්‍රදේශ මුදා ගෙන බිම්බෝම්බ ඇතුළු මර උගුල් සියල්ල ඉවත් කැර නැවත ජනතා අයිතියට පත් කිරීමට අවශ්‍ය ආරක්ෂාව දැන් සපයා ඇත.

එම ප්‍රදේශවල පුරන් වී ගිය කුඹුරු ඇතුළු වගා බිම් ද නැවත අස්වැද්දීමට සහන ලබාදීමටද රජය තීරණය කැර ඇති බව චන්ද්‍රසිරි මහතා කීය.

මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි මල්ලාවි හා පූනකරි ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් මේ දිනවල ආරම්භ කැර තිබේ. නැවත පදිංචි වන්නන්ට අවශ්‍ය සෙවිලි තහඩු ඇතුළු නිවාසයක් තනා ගැනීමට අවශ්‍ය දෑ ලබාගැනීමට මුදලින් රුපියල් 25000 ක් හා සතියකට අවශ්‍ය ආහාර ලබා දෙන බවත්, තවත් මාස තුනකට අවශ්‍ය ආහාර ලබා ගැනීමේ පහසුව රජය විසින් සලසා තිබෙන බවත් මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි මහතා සඳහන් කෙළේය.

ඒ අතර යාපනය අර්ධද්වීපයේ තවත් 64000 ක් පදිංචි කරවීමේ පහසුව දැනට සැකසී ඇති අතර තවත් පුද්ගලයන් 1,30000 ක් පදිංචි කරවීමේ කටයුතු ඉටුකරමින් ඇතැයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් අනාරක්ෂිත ප්‍රදේශවලින් සියයට අසූවක ප්‍රමාණයක් ජනතා අයිතියට පැවැරීම සඳහා සූදානම් බවද හෙතෙම කීය.

මන්නාරම දිස්ත්‍රික්කයේ පුරන්ව පැවැති කුඹුරු ඊයේ (13) අස්වැද්දීම ආරම්භ කළ බවද රජය මගින් මේ සඳහා බිම් සකස් කර දීම ඇතුළු අවශ්‍ය දෑ ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා