මගේ අරමුණ රට ගොඩ නැඟීමයි: මඩ ගැසීමේ පුරුද්දක් මට නැහැ

මගේ අරමුණ රට ගොඩ නැඟීමයි: මඩ ගැසීමේ පුරුද්දක් මට නැහැ

- ජනපති

ත්‍රස්තවාදය අවසන් කළ ශ්‍රී ලංකාව ලෝකයේ උතුම් රට බවට පත් කරනවා යැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මිනුවන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයට රැස්වූ ලක්ෂයකට අධික ජනකායක් ඉදිරියේ ඊයේ (27) ප්‍රතිඥා දුන්නේය.

පැහැදිලි සහ ස්ථිරසාර ගමනක් ඇති තමන්ට මඩ ප්‍රචාරවල යෙදෙන්නට වුවමනාවක් නැති බවත් මේ රට වඩා යහපත් රටක් වශයෙන් ගොඩ නැඟීම සිය එකම අරමුණ බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ අදහස් පළ කෙළේ 2010 ජනාධිපතිවරණයේ ජය තහවුරු කිරීමේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලි මාලාවේ විජයග්‍රාහී දෙවන ජන රැලියට මිනුවන්ගොඩදී එක්වෙමිනි.

ජනාධිපතිවරණයේ විජයග්‍රහණය තහවුරු කිරීමේ රැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් මංගල ජන රැලියට එක්වූ ලක්ෂයකට අධික ගම්පහ දිස්ත්‍රික් වැසියෝ ජනාධිපතිවරයාට ආශිර්වාදය පළ කළහ.

ජනාධිපතිවරණය කිසිඳු හරයක් නොමැති දේශපාලන මඩ ව්‍යාපාරයක් බවට විපක්ෂය විසින් පත්කර ඇතැයි පැවැසූ ජනාධිපතිවරයා ඔවුන් දේශපාලන දර්ශනයක්, ප්‍රතිපත්තියක්, ආර්ථික හෝ සංවර්ධන දැක්මක් පිළිබඳව වචනයක්වත් කතා නොකරන බවත් පැවැසීය.

මහින්ද චින්තනයෙන් සියයට 95ක් ඉටු කළ තමාට විපක්ෂය කියන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි නොකිරීම පිළිබඳව පමණක් යැයි සඳහන් කළ ජනාධිපතිවරයා මහින්ද චින්තනය ඉටු කරන්නට ජනවරම ලැබුණු වසර හයෙන් තවත් වසර දෙකක් ඉතිරිව ඇති බවත් ඔවුන් අමතක නොකළ යුතු බවත් කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට ජනාධිපතිවරයාට බලතල නැතැයි කී ජනාධිපතිවරයා ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන ජනතාව හමුවට යා යුතු බවත් ප්‍රකාශ කෙළේය.

විපක්ෂය ඒ සඳහා තමාට කිසිඳු සහායක් නොදුන් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය පමණක් නොව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද ජනතාව ලබා දෙනු ඇතැයි විශ්වාසය පළ කෙළේය. වසර හතළිහක දේශපාලන පළපුරුද්දක් ඇති තමාට දින හතළිහක අත්දැකීම් ඇති නොදරුවකු සමඟ තරගයක් නොමැති බව පැවැසූ ජනාධිපතිවරයා එහෙත් දේශපාලනයේ අත්දැකීම් පරතරයට සමාන වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය ගත යුතු බවත් පැවැසීය.

විපක්ෂයේ දේශපාලනයේ අරමුණ වෛරය පමණක් බවත් වෙනත් කිසිවක් නොව ඔවුන්ට ඇත්තේ රාජපක්ෂලා සමඟ තිබෙන වෛරයක් පමණක් බවත් ජනාධිපතිවරයා පැවැසීය. බොරුවට ආයුෂ කෙටි බව ප්‍රකාශ කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද මෙහි රැස්වී ඔප්පු කර සිටින්නේ බොරුව හා මඩවලට ආයුෂ නොමැති බව යැයි ද ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, පාඨලී චම්පික රණවක, මර්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහත්වරු ඇතුළු පිරිසක්ද මෙහිදී අදහස් දැක්වූහ. මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජ්‍ය පක්ෂයත්, බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රමුඛ මැති ඇමැතිවරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා