යුද රහස් හෙළි කරන්නෙකුට හමුදා නීතිය යටතේ දඬුවම් දිය හැකියි

යුද රහස් හෙළි කරන්නෙකුට හමුදා නීතිය යටතේ දඬුවම් දිය හැකියි

- අද්මිරාල් කරන්නාගොඩ

යුද රහස් හෙළි කිරීමත්, ප්‍රසිද්ධියේ අනවශ්‍ය ලෙස බොරු ප්‍රකාශ කිරීමත් හමුදාපතිවරයාට හමුදා නීතිය අනුව තහනම් බව ද විශ්‍රාම යාමෙන් පසු වූවද එවැනි ප්‍රකාශ කරන්නෙකුට යුද නීතිය යටතේ දඬුවම් ලබා දීමට හැකි බවද හිටපු නාවික හමුදාපති හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පවසයි.

මානුෂික මෙහෙයුමේදී සුදු කොඩි ඔසවාගෙන ආ බව කියන කොටි නායකයන්ට ආරක්ෂක ලේකම්වරයා වෙඩි තබන්නට නියෝග කළ බවට හිටපු යුද හමුදාපති සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමින් කරන්නාගොඩ මහතා මේ කරුණු අනාවරණය කෙළේය.

ස්වාධීන රූපවාහිනී සේවයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙසේද ප්‍රකාශ කෙළේය.

හිටපු හමුදාපතිවරයකු ලෙස ඔහු කර ඇති කථාව බොරුවක්. විශ්‍රාම ගියද සමහර යුද රහස් එළිපිට කතා කරන්නට තහනම්. එවැනි ප්‍රකාශ සිදුකරන පුද්ගලයකු හමුදාවේ නීතිය යටතේ යුද අධිකරණයට ගෙන යා හැකියි.

වගකීමෙන් තොරව හිටපු යුද හමුදාපතිවරයා කළ එම ප්‍රකාශය හේතුවෙන් රටට වන ප්‍රතිවිපාක භයානක බව පැවැසූ හිටපු නාවික හමුදාපතිවරයා විනයගරුක හමුදාවක හමුදාපතිවරයෙක් ලෙස කටයුතු කැර හමුදාව පාවාදෙන මෙවැනි ප්‍රකාශ කළොත් නාවික හමුදා නීතිය අනුව යුද අධිකරණය වෙත යැවෙන බවද කීය.

මෙවැනි ප්‍රකාශ හේතුවෙන් ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්ව ආඩම්බරයෙන් සිටින ත්‍රිවිධ හමුදාවටම කැළලක් සිදුවෙන බව හෙතෙම අවධාරණය කරයි. මේ ප්‍රකාශය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් බලධාරියා විසින් ජිනීවා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත ලිපියක් මගින් පිළිතුරු ඉල්ලා එවා තිබෙන බව සඳහන් කරන අද්මිරාල්වරයා මේ පිළිබඳ පරීක්ෂණයක් කළ හොත් බොරු චෝදනාවක් බව ඔප්පු වූවත් ජාත්‍යන්තරය අප දෙස වපර ඇසින් බලන්නට ඉඩ ඇති බවද සඳහන් කෙළේය.

මෙවැනි ප්‍රකාශ හේතුවෙන් අප රටට සිදුවන හානිය බලවත් බව හෙතෙම පෙන්වා දෙයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා