අන් රටක පුරවැසියකුට මෙරට ප්‍රථම පුරවැසියා වෙන්න බැහැ

අන් රටක පුරවැසියකුට මෙරට ප්‍රථම පුරවැසියා වෙන්න බැහැ

- ජනපති අපේක්ෂක සරත් කෝන්ගහගේ

වෙනත් රටක ව්‍යවස්ථාවකට යටත්වී පුරවැසිභාවය ලබාගත් පුද්ගලයකු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ප්‍රථම පුරවැසියා වී රට පාලනය කරන්නේ කෙසේ දැයි එක්සත් ජාතික විකල්ප පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අධිනීතිඥ සරත් කෝන්ගහගේ මහතා ප්‍රශ්න කරයි.

ෆොන්සේකා මහතා ද්විත්ව පුරවැසි භාවයක් ලබාගෙන ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට එරෙහිව ඉදිරියේ දී නීති මාර්ගවලට යන බවද හෙතෙම කීය. යම් අයුරකින් ෆොන්සේකා මහතා ජනාධිපති වුවහොත් ඔහු ක්‍රියාත්මක කරන්නේ අමෙරිකාවේ හෝ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවදැයි යන බරපතළ ප්‍රශ්නය පැන නැගී ඇතැයි ද ඒ මහතා කීය.

තමන්ට ද්විත්ව පුරවැසිභාවයක් නොමැති බව ෆොන්සේකා මහතා හෝ ඔහුගේ නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර නොමැති බවද හෙතෙම කීය.

තමන්ගේ පරාජය දැන සිටින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා මැතිවරණය අවසන් වූ වහාම අමෙරිකාවට යෑමට සූදානම් වී සිටින බවද කෝන්ගහගේ මහතා සඳහන් කෙළේ ය. ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින අධිනීතිඥ සරත් කෝන්ගහගේ මහතා තම පළමු පුවත්පත් සාකච්ඡාව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (27) පවත්වමින් මේ කරුණු අනාවරණය කෙළේ ය.

වසර 30කට පසු රට සන්සුන් වී ඇති මොහොතක නැවත රට වෛරී දේශපාලනයකට ගෙන යාමට උත්සහගන්නා බලවේග පරාජය කිරීමට සංඝයා වහන්සේලා ආගමික නායකයින් පෙරමුණ ගත යුතුයි ද ජනාධිපති අපේක්ෂක සරත් කොන්ගහගේ මහතා ඉල්ලීමක් කෙළේ ය. ජනාධිපතිධූර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී ඇති පුද්ගලයන්ගෙන් වැඩිම පරස්පර විරෝධී කතා ප්‍රකාශ කළ එකම තැනැත්තා ෆොන්සේකා මහතා යයි ද හෙතෙම කීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා