ප්‍රභා සමඟ හොර ගිවිසුම් ගැසූ ඇතැමුන්ට හදිසියේම අද අවතැන් ජනතාව මතක් වෙලා

ප්‍රභා සමඟ හොර ගිවිසුම් ගැසූ ඇතැමුන්ට

හදිසියේම අද අවතැන් ජනතාව මතක් වෙලා

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් සමුළුවේදී ජනපති කියයි

ත්‍රස්තවාදය නිසා උපන් ගම් බිම් අහිමි වූ ජනතාවගේ ගේ දොර ඉඩ කඩම්වල නැවත ඔවුන් කඩිනමින් පදිංචි කරන බවත් ඒ ප්‍රදේශ කිසිවකුට බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ඉඩ නොතබන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

මේ ජනතාව ප්‍රභාකරන් විසින් බලහත්කාරයෙන් උපන් බිමෙන් පලවා හැරි ජනතාවක් යැයි පිළිගැනීමට එදා සිටි නායකයන් මැලි වූ බව කියන ජනාධිපතිවරයා ඒ නායකයන්ට අවතැන් වූවන් මතක් වී තිබෙන්නේ දැන් බවත් ප්‍රකාශ කෙළේ ය.

ජනාධිපතිවරයා මේ අදහස් පළකෙළේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උතුරු පළාත් විශේෂ සමුළුවට කල්පිටිය ආලංකුඩා පෙරේදා (26) එක් වෙමින් හතළිස් දහසකට අධික මුස්ලිම් ජනතාවක් ජනාධිපතිවරයා පිළිගන්නට එක්ව සිටියහ.

2010 ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජනතා සහාය තහවුරු කිරීමට පැවැති ඒ රැලියේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද ප්‍රකාශ කෙළේය.

තමුන්නාන්සේලා අද මෙහි දී මුණ ගැසෙන්නට ලැබීම පිළිබඳව ඉතාම සතුටු වෙනවා. රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාට ස්තූතිවන්ත වෙනවා ඒ පිළිබඳව. තමුන්නන්සේලා වසර 19ක් තිස්සේ මේ කඳවුරුවල ජීවත් වුණා. එල්. ටී. ටී. ඊ නායකයන් සමඟ ගිවිසුම් අස්සන් කළ උදවිය එදා පිළිගන්න කැමැති වුණේ නැහැ. මේ ජනතාව ප්‍රභාකරන් විසින් උපන් බිමෙන් පලවා හැරි පිරිසක් බව. ඒ අය කිව්වේ මේ පිරිස කැමැත්තනෙන් උපන් ගම් බිම් අතහැර ආපු බවයි.

ඒ අයට තමුන්නාන්සේලා මතක් වී තිබෙන්නේ දැන් තමයි. මේකයි ඇත්ත. අපි තමුන්නාන්සේලාගේ වගකීම භාර ගන්න සූදානම්. , අද සුනාමි සංවත්සර දිනයයි. සිංහල , දෙමළ , මුස්ලිම් සහෝදරවරුන් විශාල පිරිසක් සුනාමියෙන් මිය ගියා. අපි අද ඔවුන් සිහිපත් කළ යුතුයි. ඉතිහාසයේ හැමදාමත් මුස්ලිම් ජනතාව අපගේ මිතුරන්ව සිටියා.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උතුරු පළාත් සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කල්පිටිය, ආලංකුඩාහිදී පෙරේදා (26) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා ජනතාවට ආචාර කළ අයුරු. ඡායාරූපය – ඉන්ද්‍රජිත් පෙරේරා

මුස්ලිම් ජනතාවට ත්‍රස්තවාදීන්ගෙන් විවිධ කරදර , හිංසා වුණා. උතුරේ අයිතිය ඔවුන්ගෙන් උදුරා ගත්තා. ඔවුන් උතුරෙන් පලවා හැරියා. ඔබ ඔබේම රටේ අවතැන් පුද්ගලයන් වුණා. ඒ ගැන මට කනගාටුයි. ඒ ගැන මම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී පවා කථා කළා. පසුගිය මැතිවරණයේ දී මම ඔබගේ ගැටලුවට විසඳුම් මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කළා. ඒවා ඒ ආකාරයටම ක්‍රියාත්මක කළා. ඉදිරියේ දීත් මම ඒවා ඒ අයුරින්ම ඉෂ්ට කරනවා.

එදා කාත්තන්කුඩි පල්ලියේ ආගම අදහමින් සිටි මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන්ගේ වෙඩි පහරට ගොදුරු වුණා. ඉදිරියේ දී එවැනි දේවල් සිදු වන්නේ නැහැ. ඒවාට ඉඩ තියන්නෙත් නැහැ. ඔබේ උපන් ප්‍රදේශයේ ම ඔබ නැවත පදිංචි කරනවා. ඒ දිනය වැඩි ඈතක නොවෙයි. අපි මොන දේ කළත් විපක්ෂය මඩ ගහනවා. පල්ලියේ කෙරෙන ආගමිත වතාවත්වලට මම බාධා කරනවා කියනවා. ඔබ ඒවා විශ්වාස කරන්න එපා. ඔබට ආගමික නිදහස දුන්නේ මේ රජයයි.

අපි ඔබ උපන් ගම්මානවල වෙන අය පදිංචි කරන්නේ නැහැ. වෙන කාටවත් බලහත්කාරයෙන් ඒවා අල්ල ගන්න ඉඩ දෙන්නෙත් නැහැ. මේ රටේ සුළු ජාතීන් නැහැ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ. මේ මවු බිම හැමෝටම අයිතියි. අපේ රටේ දැවැන්ත සංවර්ධනයක් කරනවා. ඔබට දැන් කුඹුරට , කඩ පොළට , පාසලට, නගරයට , පල්ලියට , නිදහසේ යන්න පුළුවන්. අද කාටවත් බයක් නැහැ. ඒ දේ රැක ගන්න ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔබ තීන්දුවක් ගත යුතුයි. මට ඔබ විශ්වාසයි. මා ඔබේ මිතුරා , ඥාතියා , සහෝදරයා , මා කෙරෙහි විශ්වාසය තබන්න.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක , ආපදා සහන සේවා සහ නැවත පදිංචි කිරීමේ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා, ජනාධිපතිතුමා වසර හතරක කාලයක් ඉතා හොඳින් රට පාලනය කර තිබෙනවා. තවත් වසර දෙකක් ඉතිරිව තිබියදී නැවතත් ජනාධිපති වරම ලබා දෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනවා. ගෙවී ගිය වසර හතරක කාලය ගැන හිතලා අපි එතුමා ජයග්‍රහණය කරවිය යුතුයි. එදා චන්ද්‍රිකා ඇතුළු පිරිස් එකතු වෙලා මුස්ලිම් ජනතාවට විවිධ ගැටලු මතු කළා.

අෂ්රොෆ් ඇමැතිතුමා ඔවුන් සමඟ ගැටෙමින් මුස්ලිම් ජනතාවගේ ගැටලු විසැඳුවා. ඒ නායකයා අපට අහිමි වූ පසු පැමිණි රාවුෆ් හකීම් මුස්ලිම් ජනතාවට එරෙහිව කටයුතු කරනවා. ජනාධිපතිතුමා බලයට අවොත් මුස්ලිම් ජනතාවට ආගම සිහි කරන්න දෙන්නේ නැහැ. ඔලුවට තොප්පු දාන්න දෙන්නේ නැහැ කියා කිව්වා. එහෙත් එහෙම දෙයක් වුණේ නැහැ. ඉදිරියේ දී වෙන්නෙත් නැහැ. සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය වශයෙන් මා ඒ ගැන සහතික වෙනවා.

අපි පත් කළ රාවුෆ් හකීම් සරත් ෆොන්සේකා පත් කරන්න තැනින් තැන ගොස් ඡන්දය ඉල්ලනවා. සරත් ෆොන්සේකාට පක්ෂයක් නැහැ. එතුමා මාස හයෙන් විධායක ජනාධිපති කමෙන් අයින් වෙනවා. ඔහුට තවත් මාස හයක් ඉන්න දුන්නේ නැති නිසයි එතුමා කොටින් සමඟ කටයුතු කළ අයට එකතු වුණේ. එහෙම නම් මේ විධායක ජනාධිපති ධූරයෙන් මාස හයෙන් යයිද ? එහෙම ලැබුණොත් විනාඩි හයෙන් මේ රට හමුදා ආණ්ඩුවක් ඇති රටක් කරයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ ගම් බිම් නිදහස් කර දුන් එකම නායකයා. නැඟෙනහිර පළාතේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඉඩ සැලසූ එකම නායකයා අපේ ජනාධිපතිතුමා. තමුන්නාන්සේලා රවුෆ් හකීම්ට රැවටෙන්න එපා. එතුමාගේ පස්සේ පිටරටවල ඩොලර් කාක්කෝ ඉන්නවා. මුස්ලිම් සමාජයෙන් මා ඉල්ලා සිටිනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න කියා.

උතුරේ පළාතෙන් ආ මේ ජනතාව ගැන කවුරුත් කථා කරන්නේ නැහැ. එක රාජ්‍ය නොවන සංවිධානයක්වත් මේ අය නැවත පදිංචි කිරීම ගැන කථා කරන්නේ නැහැ. කඳවුරු 161 ක් තිබ්බත් කිසිම කාර්යාලයක් නැහැ. මේ ජනතාවට කවුරුත් උදව් කරන්නේ නැහැ. මම ඉල්ලා සිටිනවා මේ ජනතාවට උදව් කරන්න කියලා. ඒ ජනතාව ඔබතුමාට පක්ෂයි. ඔවුන් ඔබතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා.

මේ ජනතාව නැවත පදිංචි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ඔබතුමා නැවත වරක් ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලා සිටිනවා. අපි කවදත් ඔබතුමා සමඟයි.

ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති සම්පාදක පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා, උතුරු නැඟෙනහිර දෙපළාතේ මුස්ලිම් ජනතාව වසර තිහක් තිස්සේ ත්‍රස්තවාදයේ බැට කෑවා. දැන් අපි සියලුදෙනාට නිදහස ලැබී තිබෙනවා. නිදහසේ ආගමික වතාවත්වල යෙදෙන්න අවස්ථාව ලැබී තිබෙනවා. 2005 දී අපි ජනාධිපතිතුමාට සහය දුන්නේ මේ නිදහස වෙනුවෙන්. අපි මේ නිදහස රැකගත යුතුයි. සමහර කණ්ඩායම් උත්සාහ කරනවා මේ නිදහස බිඳ දමන්න. එයට ඉඩදිය යුතු නැහැ.

එළඹෙන ජනාධිපතිවරණයේදී නිදහස අපට ලබා දුන් ජනාධිපතිතුමාට ජයග්‍රහණය ලබා දී අපේ දරුවන්ට යහපත් අනාගතයක් උදාකරමු. මේ නිදහස පාවාදීමට ඉඩ තියෙන්නේ නැහැ. නිදහස් කරගත් රට තවදුරටත් සංවර්ධනය කරමින් මේ රට ලෝකයේ ඉහළ තැනකට ඔසවා තබන්න අපි අත්වැල් බැඳ ගනිමු.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍ර‍්‍රී බැසිල් රාජපක්ෂ මහතා, අද වන්නියට පමණක් නොව සමස්ත මුස්ලිම් ජනතාවටම රිෂාඩ් ඇමැතිතුමා විශිෂ්ට නායකත්වයක් දෙනවා. මේ රටේ උතුරු ප්‍රදේශයේ ජීවත් වූ මුස්ලිම් ජනතාව වස්ත්‍රයට පමණක් සීමා කොට උපන් ගමින් පලවා හරින්න ත්‍රස්තවාදීන් කටයුතු කළා. ඒ අය පළවා හැර දැන් වසර 19 ක් වෙනවා. ඒ වසර 19 තුළ උතුරේ ජනතාව අවතැන් වී විඳපු දුක තමුන්නාන්සේලා හොඳින් දන්නවා.

ඒ වසර 19 තුළ තමුන්නාන්සේලා අවතැන් කඳවුරුවල දුක් විඳින අතර ජනාධිපතිවරුන් කීපදෙනෙකු පත්වුණා. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය ඉල්ලන හකීම් ඒ හැම ආණ්ඩුවකම ඇමැති පදවි දැරුවා. සාම සාකච්ඡා කළා. ගිවිසුම් අස්සන් කළා. මිනීමරු ප්‍රභාකරන්ගේ් අතට අත දුන්නා. නමුත් ඒ කාටවත් බැරිවුණා තමුන්නාන්සේලාගේ එක පවුලක් නැවත උපන් ගම්වල පදිංචි කරන්න.

ජනාධිපතිතුමා 2005 දී බලයට පත්වී වීරෝදාර රණවිරුවන්ගේ උදව් ඇතිව වසර තුනහ හමාරක් තුළ උතුර බේරාගෙන තමුන්නාන්සේලාට නැවත ගම්වලට යන්න අවස්ථාව උදාකර තිබෙනවා. අද ජනාධිපතිතුමාගේ අවසරය ඇතිව මේ සභාවේ ජනතාවට කියනවා ලබන වසරේ මැයි මස අවසන් වීමට පෙර උතුරේ ජීවත් වූ සියලු මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරන බව. තමුන්නාන්සේලා ගම්බිම්වලට යන විට ඒ ගම්වලට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා.

ඒ සියල්ල අපිට කරන්න පුළුවන් වුණේ තමුන්නාන්සේලාගේ නායකයා වන රිෂාඩ් ඇමැතිතුමා අපට දෙන සහාය නිසයි.

අද මේ ජනතාවගේ නවාතැන වී ඇත්තේ පුත්තලම. ලබන වසරේ සිට පුත්තලමේ සිට මන්නාරමට යන්න මාර්ගය නැවත විවෘත කරනවා. අරිප්පු සහ සංගුපිටි පාලම් හදලා පුත්තලම සිට යාපනයට යන්න තිබෙන මාර්ගයත් විවෘත කරනවා.

අවුරුදු 19 ක් හිටපු මේ සමහරු මේ ප්‍රදේශවලම පදිංචි වී සිටින නිසා නැවත නැවත පුත්තලමට එන්න වෙයි. ඒ නිසා ඒ 9 වගේම මේ පැත්තෙනුත් යාපනයට යන්න එන්න ඉඩ සළසනවා. අපිට මේ සියල්ල කරන්න පුළුවන් වුණේ ජනාධිපතිතුමා රටට සාමය ඇති කළ නිසයි. ඒ සාමයෙන් මුස්ලිම් ජනතාවට සේවය කරන්න හැකි වුණේ මුස්ලිම් ඇමැතිවරුන්ගේ සේවය ජනාධිපතිතුමාට රජයට ලැබුණු නිසයි.

එදා එල්.ටී.ටී.ඊ.ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගහපු ඊනියා මුස්ලිම් නායකයන්ගේ කථාවට නොරැවටී තමුන්නාන්සේලාගේ දුක හඳුනන අප සමඟ රැඳී සිට ජනවාරි 26 දා ජනාධිපතිතුමාට ඡන්දය දී එතුමාට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

ආපදා සහන සේවා ඇමැති අමීර් අලි මහතා, අපි ඔබේ ගැටලු අපේ කරට ගෙන ඇදගෙන යන බව මේ සම්මේලනයේදී කිව යුතුයි. අපේ ජනාධිපතිතුමා වසර හතළිහක දේශපාලන අත්දැකීම් තිබෙන නායකයෙක්. රනිල් වික්‍රමසිංහ අලුත් මුහුණක් දේශපාලනයට ගෙන ආවා. එහෙම අලුත් මුහුණක් ගෙනාවේ තමා පරදින බව දන්නා නිසයි. සුළු ජාතීන්ගේ නායකයා තමා බව හකීම් කිව්වත් අද ඔහු රට පාවා දුන් පිලට එකතු වී සිටිනවා. එදා කාත්තන්කුඩිය ප්‍රශ්නයේදී ඒ අය කටයුතු කළේ කොහොමද කියා අපට මතකයි.

මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට විසැඳුම් දුන්නේ ජනාධිපතිතුමා පමණයි. මුස්ලිම් ජනතාවගේ විශ්වාස දිනා ගත් ජනාධිපතිතුමා මේ ජනාධිපතිතුමාම පමණයි. ඒ නිසා අපට ඉදිරියටත් ජනාධිපතිවරයා වශයෙන් එතුමා අවශ්‍යයි. එදා මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට විසඳුම් වශයෙන් විදේශ, රටවලට ගොස් හඬ නැගුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. අපි අද හොඳ තීරණයක් ගත යුතුයි. රවුෆ් හකීම් යන්න මඟක් නැතුව හැම අතේ දුවනවා අපට එහෙම යන්න බැහැ. අපේ ගෞරවය අප රැක ගත යුතුයි.

වතු යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමැති එස්. නිජමුදීන් මහතා -

මේ ජනතාව දුටුවාම මට හිතෙනවා තරුණ රිෂාඩ් ඇමැතිතුමාගේ පිටුපස කොතරම් ජනතාවක් ඉන්නවාද කියලා. ඒ දුටුවාම මට හිතෙන්නේ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් ජනාධිපතිතුමාට සහාය දෙන්න එතුමාගේ දෑත් ශක්තිමත් කරන්න සූදානම් බවයි. මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පැරණිම කණ්ඩායම අපි. ඒ පක්ෂයේ න්‍යාය අනුව අපි ක්‍රියා කළා. අපේ නායකයා නැති වුණාට පස්සේ 2007 වසරේ දී රජයෙන් ඉවත් වී මුස්ලිම් ජනතාව නැතිවන අන්දමට කටයුතු කරන රවුෆ් හකීම් අතහැර ජනාධිපතිතුමාට සහාය දෙන්න ආවා.

අද හකීම්ලා සරත් ෆොන්සේකාට සහාය දෙනවා. ඒක අනුමත කරන්න බැහැ. සරත් ෆොන්සේකාට දාන හැම ඡන්දයක්ම මුස්ලිම් ජනතාවගේ නිදහස නැති කිරීමට දාන ඡන්දයක්. රටේ පැවැති යුද්ධයට වගකිව යුතු එක් පාර්ශ්වයක් වන්නේ විපක්ෂයයි.

අවුරුදු 30 ක යුද්ධය නැති කරන්න ජනාධිපතිතුමා විශාල වෙහෙසක් දැරුවා එතුමා අද රට සංවර්ධනය කරා ගෙන යනවා.

අද සියලු දෙනාට නිදහස ලැබී තිබෙනවා. නිදහසින් පසු ලංකාවට නිදහස ලැබුණු ප්‍රථම වතාව මේක. දෙමළ ජනතාවට වගේ මුස්ලිම් ජනතාවටත් නිදහස ලැබිලා. මෙතරම් දෙයක් ලබා දුන් ජනාධිපතිතුමාට අපි ඡන්දය දිය යුතුයි. මුස්ලිම් කොංග්‍රසය බලෙන් තියාගෙන ඉන්න හකීම්ට ඡන්දය දීලා වැඩක් නෑ. මෙතරම් හොඳක් කළ ජනාධිපතිතුමා අමතක කර කළ ගුණ නොදන්න මිනිසුන් බවට පත් වෙන්න මුස්ලිම් ජනතාවට බැහැ.

ඔබේ ඡන්දය සුදුසු කෙනාට භාවිතා කරන්න. විපක්ෂයේ පිටුපස මුස්ලිම් ජනතාව යනවා නම් ඒ අයම ඔවුන්ගේ නිදහස නැති කර ගැනීමක්. අපි කළ ගුණ දන්නා මිනිසුන් ලෙස ජනාධිපතිතුමාට ඡන්දය භාවිතා කර එක්සත්ව මුස්ලිම් ජනතාව නැගී සිටිමු.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සංවිධායක, නැඟෙනහිර පළාත් ඇමැති ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා, අද ඓතිහාසික දිනයක්. උතුරයි නැඟෙනහිරයි ජයග්‍රහණය කළාට පසු මුස්ලිම් ජනතාව රැස්වෙන පළමු දිනය. උතුරු පළාතේ උපන් කුඩා දරුවකු අපේ පක්ෂය අතට ගෙන සාර්ථකව කටයුතු කරනවා. ඔහුට අපි ස්තුතිවන්ත වෙනවා. මුස්ලිම් ජනතාවට තිබූ එකම පක්ෂය අද මුස්ලිම් ජනතාවට අහිමි වෙලා. ඒත් අපි අද ඒ ජනතාව ඒකරාශී කරගෙන එකම බලවේගයක් ලෙස ඉදිරියට යනවා.

ලබන වසර වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනසක් ඇති කිරීම සඳහා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරනවා. වසර 30 ක් පැවතුන ත්‍රස්තවාදී යුද්ධය නිමා වී අපි අද සමාදානයෙන් ඉන්නවා. එදා අපේ ප්‍රදේශවලින් අපිව පලවා හැරියා. අපේ නායකයා අපට අහිමි වූ සියලු දේ ලබා දෙන්න කටයුතු කළා. මේ පළාත්වල වැඩියෙන් ජීවත් වන්නේ මුස්ලිම් ජනතාවයි. මුස්ලිම් ජනතාව අද මේ රටේ නිදහසේ ජීවත් වෙනවා. මේ නිදහස රැක ගන්න අපි කටයුතු කළ යුතුයි. එය ඔබ සතු වගකීමක්. ඒ සඳහා තවත් වසර හයකට ජනාධිපතිතුමාට බලය ලබා දී එතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජාතික සංවිධායක එස්. බී. දිසානායක මහතා, තමුන්නාන්සේලාගේ මුහුණු බලාපොරොත්තුවලින් පිරී තිබෙන බව අපට පේනවා. තමුන්නාන්සේලා මෙහි රැඳී සිටින්නේ යහපත් අනාගතයක සිහින දකිමින්. මේ රටේ මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබෙනවා. සිංහල ජනතාවට නැති ප්‍රශ්න දෙමළ, මුස්ලිම් ජනතාවට තිබෙනවා. අවුරුදු 34 ක් අපි ත්‍රස්තවාදයකට මැදිව හිටියා. යුද්ධයකට මැදි වූ රටවල් මුහුණ දෙන්නේ ඒ යුද ගැටලුවට පමණක් නොවෙයි.

දෙවන ලෝක යුද්ධය අවසන් වනවිට ඇමරිකාවේ රැකියා ප්‍රශ්නය සියයට 40ට ගියා. බැංකු කඩා වැටුණා. මිනිස්සුන්ට කන්න නැතිව මැරුණා. එංගලන්තයේ බැංකු කඩා වැටුණා. මල්ලක සල්ලි ගෙනහින් අතේ බඩු ගෙනාවා. අපේ රටේ ත්‍රස්තවාදයට ජාත්‍යන්තර සහාය ලැබුණා.

රනිල් මහත්තයා ලෝකය වටේ ගිහින් කේලාම් කියලා රට නිදහස් කර ගන්න එක වළක්වන්න කටයුතු කළා. ප්‍රභාකරන් ඉවර වෙන බව පිළිගන්න එතුමා කැමැති වුණේ නෑ.

ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ යුද්ධය දිනන්න බෑ කියලා කිව්වා. ඒ සියල්ල බොරු කරමින් අද රටට නිදහස ලබා දීමට ජනාධිපතිතුමා කටයුතු කළා. මේ යුද්ධයේ එක සෙනෙවියෙක් අද ජනාධිපතිතුමාගෙන් ඈත් වෙලා කොටින්ට ආශිර්වාද කළා. මුදල් දුන්නා. උපකාර කළ සියලු දෙනා අද සරත් ෆොන්සේකාට උදව් කරනවා. මේ අය අද රටට ද්‍රෝහි වෙලා. මේ අය ද්‍රවිඩ, මුස්ලිම් ජනතාව ගැන දුක් වෙනවා. එදා ෆොන්සේකා කිව්වේ මේ රටේ මුස්ලිම් ජනතාවට කිසිම අයිතියක් නැති බව.

ජනාධිපති සිහිනයේ ඉන්න සරත් ෆොන්සේකා මොනවාද කියන්නේ. විශාල බල තණ්හාවකින් ක්‍රෝධයෙන් වෛරයෙන් ජනාධිපතිට එරෙහිව කටයුතු කරනවා. ෆොන්සේකා සටන ජය ගත්තට ආදරණීය නායකයෙකු වුණේ නැහැ. කොබ්බෑකඩුව, විමලරත්න හමුදාවේ ආදරය දිනා සිටියා. ෆොන්සේකා කුරිරු නායකයකු බව හමුදාවේ අදහසයි. හමුදාවට තුවාල වැඩියෙන් වුණේ ෆොන්සේකාගේ මේ කෲර බව නිසයි.

අද කියනවා බැසිල් ස්වර්ණවාහිනි එක ගත්තාලු. රෝහල් ගත්තලු, හෝටල් ගත්තාලු. උදේ ඉඳන් හවස් වෙනකම් මේ චෝදනාවම කරනවා. අපි අභියෝග කරනවා ඒ ගත්ත ලයිස්තු ඉදිරිපත් කරන්න. මේ මඩ දේශපාලනය සරත් ෆොන්සේකාගේ දේශපාලනයට ඇතුළු කළේ මංගල සමරවීර, එයා දන්නේ මිනිස්සුන්ට අපහාස කරන්න පමණයි. අපි මංගලට කියනවා මේවා ඉදිරිපත් කරන්න සාක්ෂි ඇතිව. රාජපක්ෂ පවුලේ මොළකාරයා බැසිල් කියලා දන්න නිසා මේ හැමෝටම බැසිල් ප්‍රශ්නයක්. බැසිල්ව ඉවත් කර ගන්න මේ චෝදනා කරනවා.

පක්ෂ රැසක් ජනාධිපතිතුමා ළඟ එකතු කරලා තියෙන්නේ බැසිල්. සමහර දේශපාලන පක්ෂවල තියෙන්නේ පරස්පර විරෝධී මත. ඒත් බැසිල් මේ පක්ෂ එකට ගොනු කරලා ජනාධිපතිතුමා සමඟ තියන්න බැසිල් කටයුතු කරනවා. ඒකට මේ අය බයයි. යුද්ධය අවසන් කළ වහාම ඒ වෛරය ගෝඨාභය මහතා දෙසට හැරුණා.

සරත් ෆොන්සේකා නීතිවිරෝධී ටෙන්ඩර් මණ්ඩලවල කටයුතු කළ හැටි අපි හොඳට දන්නවා. ජනාධිපතිතුමා ෆොන්සේකාට සලකපු හැටි අපි දන්නවා. ලක්ෂ 500 ක ඉඩමක් දුන්නා. සීමා රහිත තීරු බදු සහනයක් දුන්නා මෝටර් රථයක් ගන්න. විශේෂ බලතල සහිත නිලයක් හදලා දුන්නා. මේ සියල්ලත් මදිවුණාම අමාත්‍යාංශ ලේකම්කමක් දුන්නා. එයා තමයි දැන් එළියට ඇවිත් රාජපක්ෂ පවුලට බනින්නේ.

යුද්ධය ඉවර වුණාම ආපු ආයුධ නැව් දෙකක් ගෝඨාභය හරවලා යැව්වා. ඒක තමයි ගෝඨාභය සමඟ තරහා. කරන්නාගොඩට මාණ්ඩලික ප්‍රධානී තනතුර දෙන්න එපා කිව්වා. අන්තිමේ දී මේ ෆොන්සේකා දැන් ජනාධිපතිතුමාට එරෙහිව යුද ප්‍රකාශ කරලා. ද්‍රවිඩ, මුස්ලිම් ජනතාවගේ් ප්‍රශ්න ගැන ෆොන්සේකා දන්නේ නැහැ. ගෝඨාභයට තිබෙන වෛරය පෙන්නලා, එයාට වුණ අසාධාරණය ගැන කථා කරනවා විතරයි. සෞඛ්‍ය, අධ්‍යාපනය, මොනවත් නොදන්නා මේ ෆොන්සේකා සටන් වදින්නේ වසර 40 ක දේශපාලන අත්දැකීම් සහිත ජනාධිපතිතුමා සමඟයි.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික පූජ්‍ය පක්ෂයත්, නියෝජ්‍ය කථානායක පි‍්‍රයංකර ජයරත්න, ඇමැතිවරුන් වන මිල්රෝයි ප්‍රනාන්දු, එස්. එම්. චන්ද්‍රසේන, මහත්වරුන් ප්‍රමුඛ පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා