ඩෙංගු රෝගීන්ට ඖෂධ පිලිපීනයෙන්

ඩෙංගු රෝගීන්ට ඖෂධ පිලිපීනයෙන්

අසාධ්‍ය ඩෙංගු රෝගීන් සඳහා පිලිපීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් මගින් තවත් ඩෙක්ස්ට්‍රෑන් 40 නික්ෂේපණ තොගයක් මෙරටට නොමිලේ ලබා දීමට තීරණය කර ඇත. අසාධ්‍ය ඩෙංගු රෝගීන්ගේ රුධිර තරල ප්‍රසාරණය සඳහා ශිරාගත ඖෂධයක් වශයෙන් යොදාගන්නා මේ නික්ෂේපණයෙන් බෝතල් 400 ක තොගයක් මෙසේ නොමිලයේ ලබාදීමට එකඟ වී ඇත.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සභාපති ආනන්ද සමරසිංහ මහතා පිලිපීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මේ නික්ෂේපණ නොමිලේ ලබා දීමට එකඟතාව පළකළ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ප්‍රකාශ කර ඇත.

පිලිපීනයේ නිෂ්පාදිත මේ නික්ෂේපණයේ සියයට 10 ක් ඩෙක්ස්ට්‍රෑන් සහ සියයට පහක් ඩෙක්ස්ට්‍රෝස් හෙවත් සීනි අන්තර්ගත බැවින් එය ක්‍රියාකාරීත්වයෙන් ඉහළ මට්ටමක පවතින බැවින් රෝගීන්ට ඉක්මනින් ශක්තිය ලබාගැනීමට හැකිවේ. මේ නික්ෂේපණය ඉදිරි සති දෙක තුළදී මෙරටට ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති සෞඛ්‍ය ඇමැතිවරයාට දැනුම් දුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා