චැම්පියන් ලීග් පාපන්දු කිරුළට ‘මීගමු කොල්ලෝ’ ළංවෙති

දොන් බොස්කෝ පිල ප්‍රථම ප්‍රධාන තරගාවලියේදීම දස්කම් දක්වයි

චැම්පියන් ලීග් පාපන්දු කිරුළට ‘මීගමු කොල්ලෝ’ ළංවෙති

“ගෝල්ඩන් බූට්” සම්මානය
චතුර ගුණරත්නට

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ ඩයලොග් චැම්පියන් ලීග් සූරතාව හිමිකර ගැනීමට මීගමුව දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය ආසන්නව සිටී. මීගමුව දොන් බොස්කෝ ක්‍රීඩකයන්ට තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී කණ්ඩායම් 12ක් අතුරින් ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී ඇති හෙයින් සූරතාව දිනා ගැනීමේ වැඩි අවස්ථාව දැන් උදාවී තිබේ.

දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය දැනට තරග 21කදී ලකුණු 44ක් ලබා පෙරමුණේ පසුවෙයි. ඔවුන්ට ඉතිරිව ඇති තරගය වන්නේ හෙට පැවැත්වෙන නිව්යංග්ස් ක්‍රීඩා සමාජය සමඟ තරගය පමණි. එය වෙන්නප්පුවේදී පැවැත්වීමට නියමිතය.

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පෙරළිකාරයන් බවට පත්වෙමින් පොලිස් ක්‍රීඩා සමාජය දොන් බොස්කෝ පිලට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර ඔවුන් තරග 21කදී ලකුණු 40ක් ලබා සිටී.

ඊයේ පාපන්දු සම්මේලනය ලබාදුන් තීන්දු කිහිපයක් අනුව පොලිස් ක්‍රීඩා සමාජය බලාපොරොත්තුවූ ලකුණු කිහිපයක් අහිමිව ගියේය. පොලිස් - කළුතර පාක් අතර තරගයේ විනිසුරු තීන්දුවකට එරෙහිව හා නිව්යංග්ස් පිලේ ක්‍රීඩකයෙකුට එරෙහිව ගොණුකළ විරෝධතා පිළිබඳ ඊයේ තීන්දු ප්‍රකාශයට පත්විය.

කළුතර පාක් සමඟ තරගය නැවැත පවත්වන ලෙස කළ ඉල්ලීම නොසලකා එම තරගය ජය පරාජයෙන් තොරව නිමාවූවාසේ පාපන්දු සම්මේලන තීන්දුව ප්‍රකාශ විය. එයට අමතරව නිව්යංග්ස් සමඟ තරගයේදී ක්‍රීඩකයාට එරෙහි මතුකළ විරෝධතාව නොසලකා එම තරගයද ජය පරාජයෙන් තොරවූවාසේ සලකා තිබේ.

මේ තීන්දුවලට අමතරව පසුගිය සතියේ කළහකාරී සිදුවීමක් මත නවතා දැමුණු පොලිස් - ගුවන් හමුදා තරගයේ ජය ගුවන් හමුදාවට හිමිවිය යුතු බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තීරණය වී ඇත.

කෙසේ වුවද පොලිස් ක්‍රීඩා සමාජයට මෙවර තරගාවලියේදී ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීම හේතුවෙන් තරගාවලියට ජීවයක් එක්වූ බව පාපන්දු විචාරකයන්ගේ මතයවී තිබේ.

තරගාවලියේ තෙවැනි හා සිවුවැනි ස්ථානවලට යුද හමුදාව හා රත්නම් ක්‍රීඩා සමාජ අතර තියුණු තරගයක් ඇත. රත්නම් හා කළුතර පාක්, යුද හමුදාව හා බ්ලූස්ටාර් අතර හෙට පැවැත්වෙන තීරණාත්මක තරග දෙපිලටම වැදගත් වේ. එම තරග දෙක සිටිලීග් හා ශාලිකා ක්‍රීඩාංගණවලදී පැවැත්වේ.

මෙවර සූරතාවට ආසන්නව සිටින මීගමුව දොන් බොස්කෝ ක්‍රීඩා සමාජය හිටපු ශශ්‍රී ලංකා ජාතික පුහුණුකරු සම්පත් පෙරේරා මහතා යටතේ පුහුණුව ලබයි. ජාතික පිලට ක්‍රීඩා කරන පිලිප් දල්පදාදු, දිල්කි කුමාර, සුරේන්ද්‍ර බණ්ඩාර හා කවිදු ඉෂාන් දොන් බොස්කෝ පිලට එක්ව සිටිති.

මෙවර තරගාවලියේ වැඩිම ගෝල් ලාභියාට හිමිවන “ගෝල්ඩන් බූට්” සම්මානය දිනාගැනීමට ආසන්නව සිටින චතුර ගුණරත්නද, දොන් බොස්කෝ ක්‍රීඩකයෙකි. ඔහු දැනට ගෝල් 16ක් වාර්තා කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා