ටෙස්ට් පිටියට නව වසරේ අලුත් මුහුණු 2ක්

ටෙස්ට් පිටියට නව වසරේ අලුත් මුහුණු 2ක්

සිඩ්නි පිටියේදී ඊයේ ආරම්භ වූ එංගලන්ත ඕස්ට්‍රේලියා අළුබඳුන කුසලාන අවසන් ටෙස්ට් තරගයෙන් ටෙස්ට් පිටියට පිවිසි ඕස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා සහ මයිකල් බියර් නව වසරේ ටෙස්ට් වරම් ලැබූ පළමු හා දෙවැනි ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්වූහ.

පකිස්තානයේ උපන් 24 හැවිරිදි උස්මාන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කරන පළමු මුස්ලිම් ජාතිකයා වන අතර 418 වැනි ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයා වේ. 419 වැනි ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මයිකල් බියර් වාර්තා පොතට ඇතුළත් විය.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ තරගයට බාධා පැමිණි අතර, දිනය නිමාවන විට ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 134ක් ලබා සිටියේය.

ආරම්භක පිතිකරු ශේන් වොට්සන් ලකුණු 45ක් ලබාගත් අතර, උස්මාන් කවාජා සිය මංගල ටෙස්ට් ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 37ක් වාර්තා කිරීමට සමත්විය.

වසර 24 කට පසුව ඔස්ට්‍රේලියානු භූමියේදී අළුබඳුන තරගමාලාවක් ජයගත් පළමු අවස්ථාව සනිටුහන් කිරීමට මේ ටෙස්ට් තරගයේ ජය ලබාගැනීම හෝ ජය පරාජයෙන් තොරව නිමාවට පත් කරගැනීමට එංගලන්තයට සිදු වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා