5වැනි කාල්ටන් ක්‍රීඩා උළෙල 28දා සිට තිස්සමහාරාමයේදී

5වැනි කාල්ටන් ක්‍රීඩා උළෙල 28දා සිට තිස්සමහාරාමයේදී

ක්‍රීඩා ඉසව් එකොළහකින් (11) සමන්විත “තාරුණ්‍යයට හෙටක්” සංවිධානය පස්වැනි වතාවටත් මෙහෙයවනු ලබන “කාල්ටන් සුපර් ස්පෝට්ස් 2011” ක්‍රීඩා උළෙල මෙම ජනවාරි මස විසි අට වැනිදා සිට තිස්වැනිදා (28 – 30) දක්වා උත්සවශ්‍රීයෙන් තිස්සමහාරාමයේදී පැවැත්වීමට විධිවිධාන යොදා ඇති බව සංවිධානයේ ප්‍රධාන ලේකම් ලලිත් පියුම් පෙරේරා මහතා ‘දිනමිණ’ ට පැවසීය.

ග්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාවයන්ට සවියක්වීමේ අරමුණ පෙරදැරිව “තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සංවිධානය වන මෙවර ක්‍රීඩා සැණකෙළියේදී කලාතුරකින් දක්නට ලැබෙන පැරිෂුට් සංදර්ශනයට ද, ඉන්දීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ජීප් රථ සහ යතුරු පැදි තරගාවලියටද සුවිශේෂී තැනක් හිමිවේ.

මේ අතර වායු රයිෆල් හා වායු පිස්තෝල යන අංශ දෙකෙන්ම පැවැත්වෙන ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලිය මෙන්ම ආරක්ෂක අංශ ඇතුළු දිවයිනේ ප්‍රබලතම කණ්ඩායම් සහභාගිීවන කඹ ඇදීමේ තරගාවලියටද ක්‍රීඩා උළෙලෙහි විශේෂත්වයක් හිමිවේ.

එමෙන්ම ජල ක්‍රීඩා තරගාවලයට සුළං ඔරු, රුවල් ඔරු ඇතුළු ඉසව් ගණනාවක්ම ඇතුළත් වන අතර සුවිශේෂී ජල ක්‍රීඩා සංදර්ශනයකින් ද ක්‍රීඩා උළෙල වර්ණවත් වෙයි.

තරග ඉසව් දහහතකින් (17) සමන්විත මවුන්ටන් පාපැදි තරග පිරිමි සහ කාන්තා වයස අවුරුදු දහතුනෙන්, දහසයෙන් හා දහනවයෙන් පහළ (13න්, 16න්, 19න්) වශයෙන්ද පැවැත්වෙන අතර ඉන්දියාව සහ නේපාලය නියෝජනය කරමින් මෙවර තරගාවලියට දක්ෂ ක්‍රීඩකයින් ගණනාවක්ම සහභාගි වීමට නියමිත බවද පාපැදි සංගමයේ සභාපති අමල් සූරිගේ මහතා කියයි.

තරගකරුවන් පනස් දෙනෙකුට (50) ආසන්න පිරිසක් සහභාගීවන විවෘත තුන්ප්‍රයාම ඉසව්වක්ද මෙවර තරගාවලියට ඇතුළත් වෙයි. එම ඉසව්ව යටතේ තරගකරුවෙකු කිලෝමීටර් පහක (05) දිවීමේ තරගයක්, කිලෝ මීටර් විස්සක (20) පාපැදි ධාවන තරගයක් හා මීටර් හත්සිය පනහක (මී. 750) පිහිණුම් තරගයක් ද සපුරාලිය යුතු වන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා