ටියුනීසියානු රජයේ කැබිනට් මණ්ඩල වෙනසක්

ටියුනීසියානු රජයේ කැබිනට් මණ්ඩල වෙනසක්

පෙරේදා ටියුනීසියාවේ කැබිනට් මණ්ඩලයේ විශාල වෙනසක් සිදුකිරීමට නියමිත විය. බල අධිකාරියේ “හිඩැසක්” තිබීම ඒකාධිපතිවාදයට පාර කැපීමක් වනු ඇති බවට යුද හමුදා ප්‍රධානියා විසින් අනතුරු අඟවා තිබේ. රටේ ව්‍යවස්ථාවට ගරුකරන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත. සාමකාමී ලෙස රට පාලනය කිරීමට ඉඩකඩ සලසන ලෙස ඔහු විරෝධතා කරුවන්ගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් ඇඳිරි නීතියද නොතකා විරෝධතා කරුවන් අගමැති මොහොමඩ් ගනව්චිගේ නිවෙස දෙවැනි දිනටත් වටලා සිටි බව වාර්තාවේ.

නව කැබිනට් මණ්ඩලයට අලුත් ඇමැතිවරුන් හය දෙනෙක්වත් පත්කෙරෙනු ඇති බවට විශ්වාස කෙරේ. හිටපු ඇමැතිවරුන් පස්දෙනෙක් රජයෙන් ඉල්ලා අස්වන බවට දැනටමත් දැනුම්දී ඇත. ටියුනීසියාවේ කැරැල්ලට ඇමෙරිකාන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය ලැබී ඇති අතර, මැදපෙරදිග සාම නියෝජිත පේෂ්රි ෂෙල්ට්මන් එහි යැවීමට තීරණයකර තිබේ. එහි අරමුණ වී ඇත්තේ භාරකාර රජය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන බවටත්, ළඟදීම මැතිවරණයක් පැවැත්වීමට යොමු කරවීමත්ය.

හිටපු ජනාධිපති බෙන් අලී ජනවාරි 14 වෙනිදා සෞදි අරාබියාවට පලා ගියත්, ඔහුගේ පක්ෂයේ ඇතැම් ඇමැතිවරුන් කැබිනට් මණ්ඩලයේ රැඳී සිටීම බොහෝ දෙනෙකුගේ අප්‍රදයට හේතුවී තිබේ. එම නිසා එරට කැරලි කෝලාහල තවමත් සම්පූර්ණයෙන් සමථයකට පත්වී නැත. ටියුනීසියාවේ භාරකාර රජය මෙතෙක් නොසිතු විරූ තරම් ප්‍රජාතන්ත්‍රවාදී පියවර කිහිපයක්ම හඳුන්වාදී ඇත. පූර්ණ මාධ්‍ය නිදහස ලබාදීම, දේශපාලන සිරකරුවන් මුදාහැරීම, තහනම් කළ දේශපාලන පක්ෂ යළි ලියාපදිංචි කිරීම ඒ අතර ප්‍රධාන ඒවායි. ටියුනීසියානු කැරැල්ල අරාබි ලෝකයේ ප්‍රථම කැරැල්ල ලෙස සැලකේ. සුඩානයේ සහ යේමනයේද මෙවැනි කැරලි දියත් කළයුතු බවට මත පළවී තිබේ.
 

ඇඳිරි නීතිය ද නොතකා ටියුනීසියානු අගමැති කාර්යාලය වටලා දෙවැනි දිනට කෙරෙන විරෝධතාවට එක්වීමට යන ටියුනීසියානු ධජයෙන් සිරුර ආවරණය කරගත් විරෝධතාකරුවෙක් සහ ඔහුගේ සගයෙක්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා