රගර් නායකත්වය ෂෝන් විජේසිංහට

රගර් නායකත්වය ෂෝන් විජේසිංහට

ආසියානු මහද්වීපයේ ප්‍රධානතම 15 සාමාජික රගර් සූරතාවලිය වන එච්.එස්.බී.සී ආසියානු රටවල් 5ක රගර් සූරතාවලිය සඳහා තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට මහනුවර ක්‍රීඩා සමාජයේ ෂෝන් විජේසිංහ පත්කර ඇත. ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පූර්ණ අනුමැතිය ලත් ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ උප නායකත්වය හිමි වී ඇත්තේ මහනුවර ක්‍රීඩා සමාජයේහිම ෆසීල් මිරිජාට ය. 33 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා රගර් සංචිතයට මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් 14 ක්, සී.ආර්.ඇන්ඩ්.එෆ්.සී පිලේ ක්‍රීඩකයන් 7 ක්, නාවික හමුදාවේ ක්‍රීඩකයන් 7 ක්, ගුවන් හමුදාවේ ක්‍රීඩකයන් 3 ක් සහ යුද හමුදාවේ හා සී.එච්.ඇන්ඩ්.එෆ්.සී පිලේ එක් ක්‍රීඩකයකු බැගින් ඇතුළත් වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කොමදෝරු එන්. කේ. ඩී. නානායක්කාර මහතා කටයුතු කරන අතර ප්‍රධාන පුහුණුකරු වන්නේ එලීස් මීචන් ය. ශ්‍රී ලංකාව සමඟ ජපානය, කසකස්තානය, හොංකොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වදින මේ සූරතාවලිය ලබන 23 දා ඇරැඹේ. පළමු දිනයේ දී ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ කොළඹ සී.ආර්.ඇන්ඩ්.එෆ්.සී පිටියේ දී තරග වදින අතර එදිනම හොංකොං සහ කසකස්තානය අතර තරගය කසකස්තානයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය වන්නේ මැයි මස 7 දා සී.ආර්.පිටියේ දීම හොංකොං පිල සමඟ පැවැත්වෙන තරගය යි.  අනතුරුව ශ්‍රී ලංකා පිල මැයි මස 14 දා කසකස්තානය සමඟ කසකස්තානයේ දී තරග වැදීමට නියමිත ය.

එච්. එස්. බී. සී ශ්‍රී ලංකා ආයතනයේ අලෙවිකරණ සමූහ සන්නිවේදන හා ව්‍යාපාර යෝග්‍යතා අංශ ප්‍රධානි නිලන්ත බැස්ටියන් මහතා විසින් ශ්‍රී ලංකා රගර් සංගමයේ ලේකම් ලසිත ගුණරත්න මහතාට අනුග්‍රාහකත්ව සංකේතය දැක්වෙන රගර් පන්දුව පිරිනමනු ලැබූ අයුරු.

ඡායාරූපය - සමන්ත වීරසිරි

මැයි 21 දා ශ්‍රී ලංකාව ජපානය සමඟ සී.ආර්.පිටියේ දීම තරග වදිනු ඇත. මෙරට රගර් ක්‍රීඩා ලෝලීන්ට අතිශය උණුසුම් රගර් සූරතාවලියක අත්දැකීම් ලබාදෙමින් මෙරට පැවැත්වෙන තරග නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවන බව ශ්‍රී ලංකා රගර් සංගමයේ ලේකම් ලසිත ගුණරත්න මහතා ඊයේ (19) රගර් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. තරගාවලිය සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන එච්.එස්.බී.සී හි ශ්‍රී ලංකා ආයතනයේ අලෙවිකරණ, සමූහ සන්නිවේදන හා ව්‍යාපාර යෝග්‍යතා අංශ ප්‍රධානී නිලන්ත බැස්ටියන් මහතා අනුග්‍රාහකත්ව සංකේතය දැක්වෙන රගර් පන්දුව ලසිත ගුණරත්න මහතාට පිරිනැමීම ද මේ මාධ්‍ය හමුවේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රගර් සංචිතය

ෂෝන් විජේසිංහ (නායක – මහනුවර ක්‍රී.ස.), ෆසීල් මිරිජා (උප නායක – මහනුවර ක්‍රී.ස.), ප්‍රදීප් ලියනගේ (මහනුවර ක්‍රී.ස.), චරිත් සෙනෙවිරත්න (ගුවන්), බිලාල් හසන් (සී.ආර්), නුෂාල් මීපගේ (යුද), දිනේෂ් සංජීව (සී.එම්.), ඉෂාන් නූර් (සී.ආර්), ටෙරන්ස් හෙන්රි (සී.ආර්), අචල පෙරේරා (මහනුවර ක්‍රී. ස), එරංග ස්වර්ණතිලක (නාවික), සේනක බණ්ඩාර (මහනුවර ක්‍රී.ස), නුවන් හෙට්ටිආරච්චි (නාවික), සාලිය කුමාර (මහනුවර ක්‍රී.ස.), යෝෂිත රාජපක්ෂ (නාවික), සජිත් සාරංග (මහනුවර ක්‍රී.ස.), ධනුෂ්ක පෙරේරා (නාවික), රොෂාන් වීරරත්න (මහනුවර ක්‍රී.ස.), චානක චන්දිමාල් (ගුවන්), කීත් ගුරුසිංහ (මහනුවර ක්‍රී. ස.), ප්‍රසාද් චතුරංග (මහනුවර ක්‍රී. ස), ලසින්ත ද කොස්තා (සී. ආර්), චූලා සුසන්ත (නාවික), ගයාන් විරරත්න (මහනුවර ක්‍රී. ස), කිෂෝර් ජෙහාන් (මහනුවර ක්‍රී. ස), අශේන් කර්තේලිස් (සී. ආර්), රධික හෙට්ටිආරච්චි (ගුවන්), සත්‍යා රණතුංග (නාවික), කසුන් යසඉසුරු (මහනුවර ක්‍රී. ස), සුමේධ මාලේවන (නාවික), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (සී. ආර්), ශබීර් මොහොමඩ් (සී. ආර්), උජිත ජයසූරිය (මහනුවර ක්‍රී. ස)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා