හේන්ස් කොදෙව් සහයට

හේන්ස් කොදෙව් සහයට

ලොව බිහිවූ ශ්‍රේෂ්ඨ පිතිකරුවකු වන ඩෙස්මන්ඩ් හේන්ස් බටහිර ඉන්දීය කොදෙව් පිලේ පිතිකරුවන්ගේ උපදේශක ලෙසින් පත්කොට තිබේ. ඒ පාකිස්තානයට එරෙහිව ළඟ එන ජාත්‍යන්තර ක්‍රිකට් තරගමාලාව වෙනුවෙනි. පාකිස්තානයට එරෙහිව ලබන 21 වැනි දින පැවැත්වෙන විස්සයි – 20 ජාත්‍යන්තර තරගයෙන් ඇරැඹෙන ගී‍්‍රෂ්ම සෘතු ක්‍රීඩා වාරයේදී හේන්ස් කොදෙව් පිල සමග කටයුතු කරනු ඇත.

”කොදෙව් ක්‍රිකට් සමග සම්බන්ධ වීමටත් මට හැකි ආකාරයකින් ඔවුන්ට උදව් කරන්නටත් මට වුවමනා බව මම හැමදාම කියා තියෙනවා” යැයි හේන්ස් කීවේය. ”තරුණ ක්‍රීඩකයන්ගේ වර්ධනය සඳහා ඔවුනට උදව් කිරීමට මේක හොඳ අවස්ථාවක්. ක්‍රීඩකයන් වැඩිදියුණු වනු දැකීමට මම කැමතියි. කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව සෑම මට්ටමකින් දියුණු කොට කණ්ඩායම අතීතයේ තිබූ තත්ත්වයට ගෙන ඒම අපේ ඉලක්කයයි.”

”ක්‍රීඩකයන්ට ඔවුන්ගේ මානසික පැත්තෙන් ද ශක්තිමත් කිරීමට මට පුළුවන් බව මට විශ්වාසයි. කොදෙව් ක්‍රිකට් ක්ෂේත්‍රයට දායක වීමට මෙය හොඳ අවස්ථාවකි. තවත් වතාවක් කොදෙව් ක්‍රිකට් සමඟ සම්බන්ධ වීමට මට අවස්ථාවක් ලබාදීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා” යැයි හේන්ස් කියා සිටියේය. හේන්ස්, කොදෙව් පිල වෙනුවෙන් ටෙස්ට් තරග 116 ක් ක්‍රීඩා කළ අතර එම කාලය තුළදී ඔහු 42.29 ක සාමාන්‍යයකින් යුතුව ලකුණු 7,487 ක් රැස්කළේය. මීට අමතරව ඔහු ජාත්‍යන්තර එක්දින තරග 228 කට ක්‍රීඩා කරමින් 42.37 ක සාමාන්‍යයකින් යුතුව ලකුණු 8,648 ක් රැස්කරගෙන තිබේ. මේ දෙවර්ගයේම තරගවලදී හේන්ස් ජාත්‍යන්තර ශතක 35 ක් වාර්තා කොට තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා