ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යංශයට පැන සන්නද්ධ පුද්ගලයෙක් වෙඩි තබලා

ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යංශයට පැන සන්නද්ධ පුද්ගලයෙක් වෙඩි තබලා

සෙබළු දෙදෙනෙක් මිය යති

ඇෆ්ගනිස්තානයේ කාබුල් හි ආරක්ෂක අමාත්‍යාංශයට, ඇෆ්ගන් හමුදා නිල ඇඳුමින් සැරසී ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයකු පෙරේදා සිදු කළ වෙඩි තැබීමෙන් සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇත. මෙය වසර ගණනාවකින් පසු සිදුවූ ආරක්ෂක තත්ත්ව උල්ලංඝනයක් ලෙස සැලකී තිබේ. මෙම ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය බාරගෙන තිබේ. සංචාරක ප්‍රංශ ආරක්ෂක ඇමැති ජෙරාඩ් ලොන්ගුයෙට් මේ ප්‍රහාරයේ ඉලක්කය වූ බව සටන්කාමීන් කියා ඇත.

මෙය සිවු දිනක දී එරට ආරක්ෂක ඉලක්කයන්ට එල්ල වූ ප්‍රධාන පෙලේ තෙවැනි ප්‍රහාරය ලෙස හැඳින්වී තිබේ. මේ සන්නද්ධ ප්‍රහාරකයා ඝාතනය කිරීමෙන් පසු ඔහු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි බව අනාවරණය වී ඇත. ඔහු අතින් ඝාතනය වූ දෙදෙනාගේ අයෙකු නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකි. තුවාලකරුවන් අතර ආරක්ෂක ඇමැතිවරයාගේ සහායකයකු හා හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ ලේකම් ද ඇතුළත් බව සඳහන්ය. මරාගෙන මැරෙන බෝම්බකරු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ආරක්ෂක ඇමැති කාර්යාලය අබියස දී වුව ආරක්ෂක ඇමැති අබ්දුල් රහිම් වෝඩැක්ට තුවාලවීමක් හෝ සිදුව නැත.

නිර්නාමික තොරතුරු සපයන්නන්ගෙන් ලත් තොරතුරු වලට අනුව ත්‍රස්තවාදීන් තිදෙනකු ගොඩනැගිල්ලට ඇතුළු වී තිබේ. මෙම ගොඩනැගිල්ල ජනාධිපති කර්සායිගේ මන්දිරය අබියස පිහිටි එකකි. අදාළ ත්‍රස්තයින් තිදෙනාම ඝාතනය වී ඇත. 2008 දී ව්‍යර්ථ වූ කර්සායි ඝාතන ප්‍රයත්නයෙන් පසු එරට ඇතිවූ දරුණුම ආරක්ෂක තත්ත්ව උල්ලංඝනය මෙයබව සඳහන්ය. ප්‍රංශ ආරක්ෂක ඇමැතිවරයා මේ දිනවල ඇෆ්ගනිස්තාන සංචාරයක නියැලී සිටින අතර සිද්ධිය ඇතිවන විට ඔහු සිට ඇත්තේ ඉන් කි. මී. 40ක් ඈත බැග්රෑම් ගුවන් කඳවුරේය. එහෙත් තලේබාන් ප්‍රකාශක සබිහුල්ලාන් මුජාහිද් පවසා ඇත්තේ ප්‍රහාරය ඔහු ඉලක්ක කර ගත්තක් බවය. ප්‍රංශ හමුදා ඇෆ්ගන් යුද්ධයට බද්ධ වී සිටීම ප්‍රහාරයට හේතුව බවද කියැවී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා