ඔබාමා චිම්පන්සියකු ලෙස දක්වා ඊමේල් යැවූ කත සමාව ගනී

ඔබාමා චිම්පන්සියකු ලෙස දක්වා ඊමේල් යැවූ කත සමාව ගනී

එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා චිම්පන්සියකු ලෙස දැක්වෙන රූපයක් අඩංගු ඊ-මේල් පණිවිඩයක් යැවීම සම්බන්ධයෙන් කැලිෆෝර්නියාවේ රිපබ්ලිකන් පාක්ෂිකාවක පෙරේදා රටෙන්ම සමාව ඉල්ලා තිබේ. තිදෙනකුගෙන් යුත් චිම්පන්සි පවුලක් දැක්වෙන රූපයේ චිම්පන්සි පැටියාගේ හිස වෙනුවට ඔබාමාගේ හිස රුවා තිබුණු අතර “උප්පැන්න සහතිකයක් නැත්තේ මන්දැයි දැන් ඔබ දන්නවා” යන්න ලියා තිබිණ. ඔබාමා එක්සත් ජනපදයේ උපත නොලත් බවට රිපබ්ලිකන් පාක්ෂිකයන් අතර පවත්නා මතය මේ සඳහනට පාදක වී ඇත.

මැරිලින් ඩැවන්පෝට් නම් තැනැත්තිය විසින් අමෙරිකාවේ පළමුවන කළුජාතික ජනාධිපතිවරයා මෙසේ චිම්පන්සියකු ලෙස හුවා දැක්වීම විශාල වරදක් බව දක්වන සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් ඒ පිළිබඳ දැඩි විමතිය පල කර තිබේ. කළු ජාතික අභිවෘද්ධිය සඳහා ජාතික සංගමයේ ප්‍රාන්ත ශාඛාව ඩැවන්පෝට්, ඔරේන්ජ් කෝරළගේ රිපබ්ලිකන් මධ්‍ය කමිටුවෙන් ඉල්ලා අස්විය යුතු බව කියා ඇත. “මගේ ඊමේල් පණිවිඩය දැකීමෙන් සිත් රිදුනු අමෙරිකානුවන් හැමදෙනාගෙන්ම මගේ අඥාන ක්‍රියාව සම්බන්ධයෙන් මට සමාව දෙන මෙන් ඉල්ලා සිටිමි” යැයි ඩැවන්පෝට් ප්‍රකාශ කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා