හොම්ස් නගරයේ විරෝධතාකරුවන්ට ආරක්ෂක හමුදාවෙන් වෙඩි

හොම්ස් නගරයේ විරෝධතාකරුවන්ට ආරක්ෂක හමුදාවෙන් වෙඩි

සිරියාවේ හොම්ස් නගරයට රාත්‍රිය පුරා ඒකරාශි වූ විරෝධතාකරුවන්ට සිරියානු ආරක්ෂක හමුදාව වෙඩි තැබූ බවට චෝදනා එල්ල වේ. “ත්‍රස්තවාදය” වශයෙන් රජය නම් කළ මෙම විරෝධතාව වහාම නතර කරන ලෙස රජයේ බලධාරීහු නියෝග කර තිබූ බව මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීහු පවසති. වෙඩි තැබීමට පෙර විරෝධතාකරුවනට විසිර යන ලෙස ආරක්ෂක හමුදා පොලීසිය දැනුම් දී තිබේ. ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ද පාවිච්චි කර තිබේ.

විරෝධතාව “ත්‍රස්තවාදී ක්‍රියාවක්” බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය රජයේ රූපවාහිනිය ඔස්සේ ප්‍රචාරය කර තිබේ. සටන් වදින සුන්නි මුස්ලිම්වරුන් මෙහිදී අල් - කයිඩා ත්‍රස්තවාදීන්ට සමකර තිබේ. මේ අතර, අඩ සිය වසක පමණ කාලයක සිට බලපැවැත්වෙන හදිසි නීතිය අවලංගු කරන බව, සිරියානු ජනාධිපති බෂා අල්-අසාඩ් ප්‍රකාශ කර තිබේ. අසාඩ් පාලනයට එරෙහි මාධ්‍ය වාරණයක් පැනවීමට ද රජය පියවරගෙන ඇත. සිය පියාගේ ඇවෑමෙන් ජනාධිපති ධුරයට පත් අසාඩ් සිය ධුර කාලයේ මුහුණදෙන දරුණුතම අර්බුදය මෙය ලෙස සැලකේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා