පොලිසිය මැදිහත්වී ඇත්තේ රජයේ අනුදැනුමකින් තොරවයි

කටුනායක විරෝධතාව

පොලිසිය මැදිහත්වී ඇත්තේ රජයේ අනුදැනුමකින් තොරවයි

ඇමැති විමල් වීරවංශ

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පැවැති විරෝධතාවට පොලීසිය මැදිහත්වූයේ ආණ්ඩුවේ බලධාරීන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව බව, ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති, විමල් වීරවංශ මහතා පවසයි. සාමකාමීව හා නිරායුධව පැවැති එම විරෝධතාවට පොලිසිය මැදිහත් වී මර්දනකාරී ලෙස හැසිරීම තරයේ හෙළා දකින බවද හෙතෙම අවධාරණය කළේය.

ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේදී අදහස් දක්වන අයුරු. මොහොමඩ් මුසම්මිල් මහතාද ඡායාරූපයේ වෙයි.
ඡායාරූපය - රංජිත් අසංක

ඊයේ (31) බත්තරමුල්ලේදී පැවැති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැති විමල් වීරවංශ මහතා එම කරුණු අවධාරණය කළේය. ජීවඋණ්ඩ හා රබර් උණ්ඩ භාවිතා කරමින් මර්දනීය ලෙස හැසිරීම අනුමත කළ නොහැකි බව හෙතෙම කියා සිටියේය.

මෙම ප්‍රහාර එල්ලකිරීම හරහා ජනතා විමුක්ති පෙරමුණේ වුවමනා එපාකම් ඉටුකිරීමට පොලීසිය කටයුතු කර ඇති බව පෙනී යන්නේ යැයිද විමල් වීරවංශ මහතා පැවසීය. නිදහස් වෙළඳ කලාපයේ ජීවත්වන සහෝදර ජනතාවගේ ඉල්ලීම් සඳහා රජය අවධානය යොමු කරන බවද ඇමැතිවරයා කීය.

පොලිසිය අනවශ්‍ය ලෙස මැදිහත් වී ඇති කළ ප්‍රශ්නය නිසා ජනතා විමුක්ති පෙරමුණත්, බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවනුත් ඵල ප්‍රයෝජන ලබා ගන්නා බවද පෙන්වා දුන් ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණට වුවමනා වී ඇත්තේ කීප දෙනකු මරාදමා හෝ තම අරමුණු ඉටුකර ගැනීමට බවයි.

මේ පිළිබඳ තවදුරටත් සොයාබලා සාමකාමී විරෝධතාවයට ප්‍රහාර එල්ලකළ පිරිස් පිළිබඳ දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙස ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බවද ඇමැතිවරයා කීය. මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතාද සහභාගී වූයේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා