දිසා විනිසුරු දෙපා නැමඳ සෙබළු තිදෙනා සමාව ගනිති

දිසා විනිසුරු දෙපා නැමඳ සෙබළු තිදෙනා සමාව ගනිති

මාතර කොටුවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා කඳවුර ඉදිරිපිට දී මාතර දිසා විනිසුරු කේ. ඩී. සමන් කුමාර මහතාට ඉකුත් දා (22) දින පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන යුද හමුදා සාමාජිකයෝ තිදෙනා මාතර මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරුවරයාගේ දෙපා නැමඳ හෙළ චාරිත්‍රානුකූලව සමාව ලබා ගත්හ. මේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් නිමල් කරුණාතිලක, කපිතාන් ගාමිණී රත්නායක යන නීතිඥවරුන් මාර්ගයෙනි.

සැකකරුවන් ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වූ එම නීතිඥයන් කියා සිටියේ මේ සැකකරුවන් සමතයකට පත්වීමට කැමති බවය. පහර කෑමට ලක්වූ දිසා විනිසුරු සමන් කුමාර මහතා ද ඊට විරෝධය පළ නොකිරීම නිසා හෙළ චාරිත්‍රානුකූලව මේ සමාව ගැනීම සිදු වූයේ මාතර අධිකරණ පද්ධතියේ සියලුම නීතිවේදී මහත්ම මහත්මීහු හමුවේදීය.

මෙසේ සමාව ගත්තේ මාතර කොටුව යුද හමුදා කඳවුරේ සැරයන් එල්. ගාමිණී, කෝප්රල් ඩබ්ලිව්. ඒ. චමින්ද කුමාර හා සාමාන්‍ය සෙබළ එල්. එල්. ඩී. එච්. චන්ද්‍රසිරි යන තිදෙනාය.  මේ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති නීල් දළුවත්ත, මාතර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත හේරත් යන මහත්වරු සහභාගි වූහ.

මාතර අධිකරණ පද්ධතියේ සියලුම නීතිඥයන් වෙනුවෙන් පැමිණිලි පාර්ශවයට කරුණු දැක්වූයේ මාතර නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කපිල මනම්පේරි මහතාය. දිසා විනිසුරු සමන් කුමාර මහතාට පහර දීමේ සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් 6 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් වී නැති බව පෙන්වා දුන් කපිල මනම්පේරි මහතා ඉල්ලා සිටියේ ඔවුන් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරියෙක් හා සමෘද්ධි සංවර්ධන නිලධාරිණියක් වූ ඔහුගේ බිරිය මාතර මහේස්්ත්‍රාත් අධිකරණ නියෝගයෙන් 06 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා