කටුනායක සිදුවීම ගැන සොයන්න ඒක පුද්ගල කමිටුවක්

කටුනායක සිදුවීම ගැන සොයන්න ඒක පුද්ගල කමිටුවක්

කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් සහ පොලිසිය අතර පෙරේදා (30) ඇති වූ තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒක පුද්ගල කමිටුවක් පත්කර තිබේ. සිද්ධිය පිළිබඳ විමර්ශනය කොට දින 5 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසද ජනාධිපතිවරයා නියෝග කර ඇත. මේ ඒක පුද්ගල කමිටුව සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු මහනාම තිලකරත්න මහතා පත් කර ඇත.

මේ සිද්ධියට සම්බන්ධ කුමන තරාතිරමක පුද්ගලයෙකුට වුවද දැඩි දඬුවම් ලබාදෙන බවද ජනාධිපතිවරයා පැවසූ බව, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (31) පැවසීය. වෘත්තීමය තත්ත්වයන් තුළ බලය අවම කිරීම පොදු ජනයාගේ යහපත වෙනුවෙන් කළයුතු බවත්, කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් හේතු සාධක හා ඒ පිළිබඳ සොයා බැලිය යුත්තේ කම්කරු අමාත්‍යාංශය බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මේ සිදුවීමේදී කුමන හේතුවක් මත හෝ ජනතාව තාඩන පීඩනවලට පත්වූවා නම් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන ලෙස කොමිසමට දැන් වූ බවද ජනමාධ්‍ය ඇමැතිවරයා කීය.

මීට අමතරව විරෝධතාව ක්‍රියාත්මක වූ ස්වභාවය හෝ එහිදී පොලිසිය හැසිරුණු ආකාරය හෝ ඉන් ඔබ්බට ගොස් ක්‍රියා කළාද යන්න සොයා බැලීමද කමිටුවෙන් අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. දැනට පනත ඉදිරිපත් කිරීම වළකා ඇති බව, රජය වගකීමෙන් පවසා ඇති අතර මේ පිළිබඳ අදින් පසුවත් යමක් සිදුවේ නම් එය අන්තවාදී දෙයක් ලෙස දකින බවද රඹුක්වැල්ල මහතා තවදුරටත් පැවසීය. ඊයේ (31) ඒ මහතාගේ නිල නිවසේදී පැවැති මාධ්‍ය හමුවේදී මේ අදහස් පළ කළේය.
 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා