රුසියාව-චීනය ඇතුළු රටවල් රැසක සහාය ශ්‍රී ලංකාවට

මානව හිමිකම් සැසියේ දී

රුසියාව-චීනය ඇතුළු රටවල් රැසක සහාය ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 17වැනි සැසිවාරයේ දී රුසියාව හා චීනය ඇතුළු රටවල් රැසක උපරිම සහාය ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් රැසක් සුබවාදී අදහස් පළ කර තිබෙන අතර ඒ හේතුවෙන් මතභේදාත්මක දරුස්මාන් වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට ගත් උත්සාහයද අසාර්ථක වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 17වැනි සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී පසුගිය (30) ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් සහභාගිවී සිටිති. මේ සැසිවාරයේ ශ්‍රී ලංකාවට සහාය දැක්වූ රටවල් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳව සොයා බැලීමේ හැකියාව පවතින්නේ ශ්‍රී ලංකාවටම පමණක් බවයි.

මේ අතර මැලේසියාව, රුසියාව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ කියුබාව යන රටවල්ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇමතූ අතර ? ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිසිවිටෙකත් අවශ්‍ය නොවන බව ඔවුන් පෙන්වාදී ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 17වැනි සැසිවාරය ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර ජිනීවා නුවර බලා ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහිදී මේ කවුන්සලයේ සාමාජිකත්වය දරන රටවල් 47 සාමාජිකයන් වෙත ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය හා දරුස්මාන් වාර්තාවේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා නොකිරීමට තීරණය කර ඇත.
මේ සැසිවාරය ලබන 17 දා තෙක් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා