ලක්‍ෂ 55හේ මංකොල්ලයේ ලක්‍ෂ 22ක් සැක 2ක් සමඟ අත්අඩංගුවට

ලක්‍ෂ 55හේ මංකොල්ලයේ ලක්‍ෂ 22ක් සැක 2ක් සමඟ අත්අඩංගුවට

කෑගල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයකින් සොරකම් කළ රුපියල් ලක්‍ෂ පනස් පහක මුදලින් රුපියල් ලක්‍ෂ විසිදෙකක් සොරකම සිදුවී දින පහක් ඇතුළත සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසියේ නිලධාරීහු සමත් වෙති. පසුගිය 22 දා රාත්‍රී මේ ව්‍යාපාරික ස්ථානයට බිත්තියේ කවුළුවකින් ඇතුළු වී මුදල් පැහැරගෙන ඇති බව ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කැර ඇත.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයලාල් දසනායක මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. මුදල් සමඟ සැකකරුවන් දෙදෙනකු රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කරයි. මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සොරාගත් මුදලින් මිලදී ගත් රුපියල් එක්ලක්‍ෂ අසූදහසක් වටිනා යතුරුපැදියක් සහ සිම් කාඩ්පත් හතරක් නවීන පන්නයේ චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථනයක් සොයාගැනීමට හැකි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු අවුරුදු පහක් බන්ධනාගාර ගතව සිට මෑතකදී නිදහස ලබා පැමිණි අයකු බව ද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයලාල් දසනායක මහතාගේ උපදෙස් මත කෑගල්ල අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක යූ. එම්. අන්වර්, නොවිසඳුණු අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රෙජිනෝල්ඩ් මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ඡායාරූපය – රඹුක්කන විශේෂ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා