ගඩාෆි සමඟ සාකච්ඡා නෑ: පැතිර යන කටකතා බොරු

ගඩාෆි සමඟ සාකච්ඡා නෑ: පැතිර යන කටකතා බොරු

ලිබියාවේ කැරලිකරුවෝ කියති

මුවමර් ගඩාෆිගේ පාලන අධිකාරිය සමඟ තමන් සාකච්ඡා කරන බවට පැතිර යන ආරංචි සාවද්‍ය බව ලිබියානු කැරලිකරුවන් සඳුදා පවසා ඇත. මේ අතර නැඟෙනහිර මෙන්ම බටහිර ලිබියාවේ සටන් ඇවිලීගොස් තිබේ. ලිබියානු නායකයාට ඉදිරියට බලයේ රැඳී සිටීමට හැකි කාල සීමාව ඉතා සීමිත බව ඇමෙරිකාව පවසයි. ලිබියානු කැරලිකරුවන් ට්‍රිපොලි නගරයට ලඟාවෙමින් සිටින බවත් නගරයට ආහාර සැපයීම මුලුමනින්ම පාහේ අඩාල කර ඇති බවත් වාර්තා වේ.

ලිබියාවේ අනාගතය පිළිබඳව තීරණ ගැනීමේ සාකච්ඡාවක් ටියුනීසියාවේ පැවැත්වෙනු ඇති බවත් තමා ඊට සහභාගිවන බවත් අරගලය විසඳීමේ මැදිහත්කරු වශයෙන් කටයුතු කරන ලිබියානු නියෝජිත අබ්දුල් කතීබ් පවසයි. ලිබියාවේ නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැතිවරයා තම පවුලේ සාමාජිකයන් නව දෙනෙක් සමඟ පෞද්ගලික ගුවන් යානයකින් ඊජිප්තුව බලාගොස් ඇත. ඔහු ගඩාෆි රජය අත්හැර ගියේද යන්න පැහැදිළි නැති බව වාර්තාවේ. සිය රට ආක්‍රමිකයන්ගෙන් සහ කැරලිකරුවන්ගෙන් බේරා ගැනීමට සටනට සැරසෙන ලෙස කර්නල් ගඩාෆි රටවැසියාගෙන් ඉල්ලීමක් කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා