සෝනියා ගාන්ධිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කිසිම තොරතුරක් නෑ

සෝනියා ගාන්ධිගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කිසිම තොරතුරක් නෑ

පාලක කොංග්‍රසය තොරතුරු හංගයි

ඉන්දියාවේ ප්‍රබලම දේශපාලන චරිතය වන සෝනියා ගාන්ධි එක්සත් ජනපදයේදී සැත්කමකට භාජනය වන බවට අගෝස්තු 4 වනදා සිදු කළ විස්මිත ප්‍රකාශනයෙන් පසු මෙතෙක් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නැතිතරම්ය. 64 වියැති ඇයගේ තත්ත්වය පිළිබඳව ඉන්දීය මාධ්‍යයේ වැඩිකොටසක පවත්නා නිහඬතාවයත් පාලක කොංග්‍රසය ඇය පිළිබඳ තොරතුරු දැක්වීම ප්‍රතිකෂෙප කර තිබීමත් ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ විනිවිද භාවය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුකරන්නක් වී ඇතැයි පැවසේ .

බිස්නස් ස්ටෑන්ඩර්ඩ් පුවත්පතේ කතුවරයා පවසන්නේ කොංග්‍රස් පක්ෂ මාධ්‍ය සාකච්ඡාවල දී ඊට සහභාගි වූ මාධ්‍යයන් ඇය පිලිබඳ තොරතුරු නොවිමසීම තැතිගන්වන හැඟිමක් ඇති කළ බවයි.රටේ ප්‍රබලම දේශපාලන චරිතයක තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍ය මුනිවත රැකීම විස්මිත තත්ත්වයක් බවද ඔහු කීය. ඇය රෝහල් ගත කිරීමෙන් පසු පැය 24ක කාලයක් දැඩිසත්කාර ඒකකයේ සිටි බවත් පසුව සාර්ථක සැත්කමකට මුහුණ දීමෙන් පසු සුවය ලබමින් සිටින බවත් මාධ්‍යයෙහි පලවූ තැන්පටන් ඇය ගැන තොරතුරු වාර්තා වී නැත. ඇයගේ කැමැත්ත මත පමණක් අතිරේක තොරතුරු අනාවරණය කෙරෙන බව ප්‍රවෘත්ති ඇමති අම්බිකා සෝනි පවසා ඇත. ඇයගේ පුත් රාහුල් ගාන්ධි ඇයගේ තත්ත්වය දැන් වඩාත් යහපත් බව පමණක් සදුදා කියා තිබිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා