ගල් වළක කිලෝ 8ක බෝම්බයක්

ගල් වළක කිලෝ 8ක බෝම්බයක්

කොටදෙනියාව කරවිල කුඹුර වත්තේ ගල්වළක තිබී කිලෝ 08ක් බරැති සී. 4 වර්ගයේ බෝම්බයක් ඊයේ (08) සවස හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ප්‍රදේශ වාසීන් විසින් මේ ගල් වල පවිත්‍ර කිරීමේ දී බෝම්බය දක්නට ලැබී තිබේ. අනතුරුව ගම්වාසීන් කොටදෙනියාව පොලිසියට මේ බව දැන්වීමෙන් පසු පොලිසිය විසින් ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය ගෙන්වා මේ බෝම්බය නිශ්ක්‍රීය කර ඇත.

ප්‍රදේශවාසීන්ගේ බුද්ධිමත් භාවය නිසා සිදු වීමට ගිය මහා විනාශයක් වැළකී ගිය බව අජිත් රෝහණ මහතා දිනමිණ ට පැවැසී ය.

නීති විරෝධී අවි ආයුධ මහ මඟ හා කැලෑ රොදවල අතහැර දමා යන ප්‍රවණතාවක් දැන් දක්නට ඇතැයි පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අපරාධකරුවන් සොයා දිගින් දිගටම වැටලීම් කරන බැවින් ඔවුන් තමන් සන්තකයේ ඇති නීති විරෝධී අවි ආයුධ මෙසේ අස්ථාන ගත කරන බව ද දිනමිණ කළ විමසීමක දී හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

කලක් තිස්සේ අතහැර දමා තිබූ මෙම ගල්වල ඊයේ සවස සේවක පිරිසක් විසින් පවිත්‍ර කරන අවස්ථාවේ දී කළු පැහැති රෙදි බෑගයක් හමු වී ගොඩ ගෙන පරීක්‍ෂා කරද්දී ඊට අමුණා තිබූ වයර් කැබලි දැකීමෙන් පසු කොටදෙණියාව පොලිසියට පැමිණිලි කර තිබේ.

පසුව ගුවන් හමුදාව කැඳවනු ලැබී ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා