තලාවේදී දුම්රියට ගල් ගැසූ සැකකරුවෝ 6ක් රිමාන්ඩ්

තලාවේදී දුම්රියට ගල් ගැසූ සැකකරුවෝ 6ක් රිමාන්ඩ්

අනුරාධපුර මධ්‍යම විශේෂ

දුම්රියකට ගල් ගසා හානි කිරීම සම්බන්ධයෙන් හා දුම්රියේ ගමන් ගත් පුද්ගලයකුට තුවාල සිදු කිරීම යන චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුධ හමුදා සෙබළෙකු ඇතුළු හය දෙනකු අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා නියෝග කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මහතෝරවැව මහනන්නේරිය ගල්ගමුව පදිංචි එච්. එම්. සී. හේරත්, ඩී. එම්. එස්. සමරකෝන්, ඩී. එම්. එස්. එස්. දිසානායක, බී. එම්. ආර්. බාලසිංහ, එච්. යූ. සුමිත් බණ්ඩාර (යුධ හමුදා සෙබළ) හා එච්. එස්. එම්. හේරත් යන සැකකරුවන්ය.

පසුගිය (06) දා දැයට කිරුළ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වා ධාවනය වූ විශේෂ දුම්රියකට ගල් වලින් පහර දී මැදිරි කිහිපයකට හානි සිදු කිරීම හා එහි ගමන් ගත් මගියකුට තුවාල සිදු කළ බවට මොවුහු චෝදනා ලැබ සිටියහ.

සැකකරුවන් පිරිස තලාව උප දුම්රිය ස්ථානයේදී විශේෂ දුම්රියට ගල් ගසා ඇති බවත් ලැබුණු තොරතුරකට සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් තලාව පොලිසිය අධිකරණයට දැන්වීය. අලාභයේ තක්සේරුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මෙතෙක් ලබාදී නැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් තුන්දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගෙන ඇති බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය.

සැකකරුවන් 09 වන දිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තලාව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පො.ප. එස්. ටී. පී. ඒ. හේරත් මහතාගේ උපදෙස් මත සැරයන් ජයසිංහ මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා