එළවළු ගෙනෙන මුවාවෙන් ගංජා ප්‍රවාහනයේ

එළවළු ගෙනෙන මුවාවෙන් ගංජා ප්‍රවාහනයේ

මොරවක ව්‍යාපාරිකයා පොලිස් අත්අඩංගුවට

දීර්ඝ කාලයක් පටන් තණමල්විල සිට වට්ටක්කා, එළවලු ගෙන එන මුවාවෙන් ගංජා ප්‍රවාහනයේ යෙදුණු ව්‍යාපාරිකයකු මාතර දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් මාලිම්බඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මොරවක ප්‍රදේශයේ 26 හැවිරිදි ව්‍යාපාරිකයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. වාහනයේ රියදුරු අසුන යට සාදා තිබී රහස් කුටි තුළ තිබූ ගංජා මිලිග්‍රෑම් තිස් දහස් අනූපහක් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු කලක පටන් ගාල්ල, වැලිගම, අකුරැස්ස, මොරවක, දෙනියාය ප්‍රදේශවලට ගංජා බෙදාහරින ව්‍යාපාරිකයකු බව පොලිසිය සොයාගෙන ඇත. සැකකරු සහ වාහනය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. සැකකරුට එරෙහිව මාතර මහ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මාතර පොලිස් අධිකාරි (1) දමයන්ත විජය ශ්‍රී යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රසන්න මහතාගේ මෙහෙයවීමෙන් මාතර දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ. එම්. සී. මදුශංක, සැරයන් ප්‍රියංකර, සරත්කුමාර, කරුණාසේන, පො.කො. හේමන්ත, ලසන්ත, කුලතුංග, චන්දිමාල්, වසන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

මාතර පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රසන්න පොලිස් පරීක්ෂක කිෂාන්ත ලොකුගේ මහත්වරුන් ගංජා තොගය පරීක්ෂා කරයි.

ගංජා ප්‍රවාහනයට වාහනයේ රියැදුරු අසුන යට සාදා තිබූ සූක්ෂම කුටි පරීක්ෂා කරමින්.

ඡායාරූප: - මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා