ජනපති නියෝගයෙන් ධීවර ඉන්ධන සහනාධාර වැඩිවේ

ජනපති නියෝගයෙන් ධීවර ඉන්ධන සහනාධාර වැඩිවේ

* එක් දින යාත්‍රාවකට භූමිතෙල් ලීටර් 350ක්

* බහුදින යාත්‍රාවකට ඩීසල් ලීටර් 2600ක්

ධීවරයන්ට මෙතෙක් ලබා දුන් ඉන්ධන සහනාධාරය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) නියෝග කළේය.මේ අනුව එක්දින සහ බහුදින ධීවර යාත්‍රා සඳහා මෙතෙක් ලබා දුන් ඉන්ධන සහනාධාරය ලීටර් 100 කින් ඉහළ දැමීමට නියමිතය. ඩීසල් ලීටර් 2500 ක් දක්වා දුන් සහනාධාරය ලීටර් 2600 දක්වාත් භූමිතෙල් ලීටර් 250 ක් දක්වා දුන් සහනාධාරය ලීටර් 350 දක්වාත් මේ අනුව ඉහළ දැමේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ධීවර සමිති නියෝජිතයන් අතර අරලියගහ මන්දිරයේදී ඊයේ (02) පැවැති සාකච්ඡාවකදී මේ උපදෙස් ලබා දී තිබේ. මීගමුව, හලාවත ධීවර ජනතාව සමඟ ධීවර ගැටලු සම්බන්ධයෙන් මේ සාකච්ඡාව පැවැත්වුණේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මීගමුව හලාවත ධීවර සමිති නියෝජිතයින් සමඟ මේ විශේෂ සාකච්ඡාවේදී ධීවරයන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. මෙහිදී තෙල් මිල වැඩිවීම හේතුවෙන් ධීවර ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව ධීවර ප්‍රජාව ජනාධිපතිතුමා වෙත කරුණු පැහැදිලි කළේය.

එමෙන්ම ධීවර කර්මාන්තකරුවාගේ ආදායම වැඩි කිරීම මතු වී ඇති අර්බූදයට හොඳම විසඳුම බැව් පෙන්වා දුන් ජනාධිපතිතුමා ධීවරයින්ගේ ආදායම වැඩි කිරීම සඳහා සහතික මිලකට රජය මගින් ධීවරයින්ගේ මාළු මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස ධීවර සංස්ථාව වෙත උපදෙස් දුණි.

ඉදිරියේ දී ලෝක වෙළෙඳ පොළ තුළ තෙල් මිල තව තවත් වැඩිවීමේ හැකියාව ඇති බැව් පෙන්වා දුන් ජනාධිපතිතුමා එය අප රජයට මැදිහත් විය හැක්කේ සහනාධාර තුළින් බවත් ධීවර කර්මාන්තයට පමණක් නොව අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම අංශ ක්‍රියාත්මක වන්නේ ද සහනාධාර මත වන බවත් පැවසීය.

ඩීසල් ලීටරයකින් රුපියල් 4.79 කින් ද,පෙට්රල් රුපියල් 1.91 කින් පාඩු විඳීමින් රජය භූමිතෙල් සඳහා සියයට 80 ක් ද, ඩීසල් සඳහා සියයට 40ක් ද සහනාධාර වශයෙන් ලබා දීමට කටයුතු කර ඇති බැව් ධීවර ජනතාව වටහා ගත යුතු බැව් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මසුන් ඇල්ලීමේ දී ඇම සඳහා භාවිත කරන ආනයනික දැල්ලන්ගේ බදු ඉවත් කිරීමට ද, ධීවර ආම්පන්නවලට බදු සහන සැලැස්වීමට ද මෙහිදී ජනාධිපතිතුමා තීරණය කළේය.

තහනම් ක්‍රම භාවිතයෙන් සිදු කරන ධීවර කටයුතු නැවැත්වීමටත් එවැනි කටයුතු සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස ද මෙම අවස්ථාවේදීම ජනාධිපතිතුමා දුරකථනයෙන් පොලිස්පතිතුමා වෙත දැනුම් දුණි. එමෙන්ම කිසිවකුට මසුන් රටට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව ද ප්‍රකාශ කළේය. අද මෙම සාකච්ඡාවේදී ධීවර ජනතාව වෙත ලබා දෙන සහනාධාර සියල්ල රටේ සියලු ධීවර ප්‍රජාව වෙනුවෙන් බැව් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ සියලුම ධීවර ජනතාව ආදායම් බද්දෙන් නිදහස් කොට ඇති බවත් ධීවරයින්ගේ ණය පොලී සියයට 4කින්ද උතුරු ප්‍රදේශ ධීවර ජනතාවගේ ණය පොලී සියයට 25කින් ද රජය මගින් ලබා දෙන බැව් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට මීගමුව හලාවත කලාප භාර පූජා ප්‍රසාදීන් වහන්සේලා නියෝජ්‍ය අමාත්‍යවරු වන, සරත් කුමාර ගුණරත්න, නියෝමාල් පෙරේරා, මීගමුව හලාවත ප්‍රදේශ නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මුදල් අමාත්‍යාංශයේ හා ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා