සියලු පාසල්වලට වසර 3ක දී තොරතුරු තාක්ෂණ පහසුකම්

සියලු පාසල්වලට වසර 3ක දී තොරතුරු තාක්ෂණ පහසුකම්

රටපුරා පිහිටි දසදහසකට ආසන්න සියලුම පාසල්වලට වසර තුනක් ඇතුළත තොරතුරු තාක්ෂණ පහසුකම් ලබා දීමට රජය තීරණය කර තිබේ. එම වැඩපිළිවෙළේ පළමු අදියර ඊයේ (02) සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විණි.

එහිදී පාසල් 300කට තොරතුරු තාක්ෂණ පහසුකම් ලබාදීම සිදුකෙරිණි. මෙම වසර අවසාන වීමට පෙර පාසල් තුන්දහසකට එම තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදීමට පියවර ගැනේ.

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා ගෙනයාමේ ජනාධිපතිවරයාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ගම්බද දරුවන් විශ්ව ගම්මානයේ දැවැන්තයන් බවට පත් කිරීමේ සැලසුම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

මේ දැවැන්ත වැඩපිළිවෙළ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අධීක්ෂණය යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික අධ්‍යාපන ආයතනය, රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සහ එටිසලාට් ආයතනය එක්ව සිදු කෙරේ. එම තොරතුර තාක්ෂණ උපකරණ ලබාගැනීම ගෙවීමේ පදනම යටතේ ලංකා බැංකුව සහ එල්.ඕ.එල්.සී. ආයතනයේ අනුග්‍රහයෙන් සිදු කෙරෙයි.

උපකරණ සැපයීමේ සම්පූර්ණ වගකීම රාජ්‍ය නීතිගත සංස්ථාවට පවරා ඇත. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, එටිසලාට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දුමින්ද රත්නායක, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අබේරත්න, රාජ්‍ය නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.

හතර ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා වූ සිසුන්ට මෙකී පාඨමාලා හැදෑරීමට ඉඩ ප්‍රස්ථා ඇත. විශේෂයෙන් ශිෂ්‍යත්ව පාඨමාලා පහසුකම්ද යොදා ඇත. ජාතික අධ්‍යාපන ආයතනය මගින් මේ සියලුම පාඨමාලා සකස් කර ඔවුන් නිර්දේශ කළ ගුරුවරු හරහා අධ්‍යයන කටයුතු සිදු කෙරෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා