අපේ හමුදාව ලොව කිසිදු හමුදාවකට දෙවැනි නැහැ

අපේ හමුදාව ලොව කිසිදු හමුදාවකට දෙවැනි නැහැ

ඇල්ලේ ගුණවංශ හිමි

වසර 30 ක යුද මෙහෙයුම අභ්‍යන්තරය තුළ සිදු වූ ගැටුම් වැටුම්, පරාජයන් හමුවේ නායකත්වයට දිරි දුන් හිමි නමක ලෙස ජාතියේ බුහුමනට ලක්වූ කොළඹ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ “දිනමිණ” කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

l ත්‍රස්තවාදීන්ගෙන් රට මුදා ගත් දිනය දෙවන නිදහස් දිනය ලෙස ඇතැමුන් හඳුන්වනවා. පළමු නිදහස ලේ සෙලවීමෙන් තොරවත් දෙවැනි නිදහස ලේ සෙලවීමෙන් ජීවිත පූජාවෙන් සටන් කර ලබා ගත් එකක් හැටියටයි හඳුන්වන්නේ. ඔබ වහන්සේ මේ වෙනස දකින්නේ කොහොමද?

කිසිම නිදහසක් අපි ලබාගෙන නැහැ සටනකින් තොරව ලේ සෙලවීමකින් ජීවිත පූජාවකින් තොරව. මේ රටේ හැබෑ උරුමක්කාරයෝ තමන්ගෙ උරුමය වෙනුවෙන් හැමදාම සටන් කරනවා. මේ දැනුත් මේ මොහොතෙත් වාරියපොළ හාමුදුරුවෝ, ගුණානන්ද හාමුදුරුවෝ කුඩාපොල හාමුදුරුවෝ, වීර කැප්පෙටිපොල, ගොංගාලෙගොඩබණ්ඩා, පුරන්අප්පු වගේ එදා ජාතික වීරයෝ සුද්දන්ගෙන් රට බේරාගන්න ජීවිත පිදුවේ නැත්නම් උන් මේ රට දාල යයිද? ඔය 48 ලැබුවා කියන නිදහස කවුද ලැබුවේ. අපි කාටවත් 48 නිදහසක් ලැබුණේ නැහැ.

l ඒ කියන්නෙ ඔබ වහන්සේ ඉතිහාසය වෙනස් කරනවාද?

වසර 400ක් විතර වහල් බවින් හිටිය ජාතියක් අපි. 48 නිදහස ලැබුනෙ නැහැ. ඒක නිදහස නෙවෙයි. සුද්දන්ගෙ ගෙදරට කළු සුද්දො ඇතුළු වුණු එක විතරයි සිද්ධ වුණේ. අපේ මානසික වහල් බව එතනම තිබුණා. මේවට කතා කරපු අනගාරික ධර්මපාල තුමා මේ රටත් දාලා යන්න ගියා. තිබුණ කලකිරීමට. 69,70 ඉඳලා අපිට ජාතික විප්ලවයක් කරන්න සිද්ධ වුනා.

මිනිසුන්ගේ මනස හදන්න. ජනමාධ්‍ය දේශන රැස්වීම් පවත්වල මිනිසුන්ගේ මනස, ජාතිකත්වය දේශප්‍රේමය කෙරෙහි නැඹුරු කරන්න විශාල සටනක් කරන්න සිද්ධ වුණා. සුද්දො රට හැරල ගියාට කළු සුද්දන්ගෙ මනස හදල ජාතිකත්වය ඇතිකරන්න අපි විශාල කැපවීමක් කළා. රටේ යුද්ධයක් නොතිබුණාට විශාල ආක්‍රමණයක් තිබුණා.

කල්ලතෝනින්ගෙන් සිංහල ජනතාවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විශාල අසාධාරණයන් සිද්ධ වුණා. ඒකෙදි බණ්ඩාරනායක මැතිනියට බුදු බව අත්වෙන්න දකුණේ ජනතාවට විශාල වශයෙන් අධ්‍යාපනික පහසුකම් සැලසුවා. එදා හිටිය විශ්වවිද්‍යාල සිසුන් අදත් වන්දනාමාන කළ යුතුයි මැතිනියට. එතුමිය කළ ඒ අධ්‍යාපන විප්ලවය නිසා අද සිංහල ජනතාව ජාතියක් හැටියට මේ රටේ ඉහළ තනතුරු ලබමින් නැගී සිටිනවා.

l ඔබ වහන්සේට ජාතිවාදී ලේබලය ඇලවුණේ මේ අදහස් නිසා ද?

කාටත් පොදුවේ නිදහසේ ඉන්න තියෙන රටේ එක මිනිහෙකුට එක පන්තියකට අසාධාරණයක් වෙනකොට ඒකට කෑ ගහන එක ජාතිවාදය වෙන්නෙ කොහොමද? එක මිනිහෙක් බඩගින්නෙ ඉන්නවා. අනෙක් මිනිහා විතරක් කනඑක සාධාරණද? ඇත්ත කතා කරන එක ජාතිවාදය වෙන්නෙ කොහොමද?

l හොඳයි 30 වසරක් ඇදුන යුද්ධය ජාතික නායකත්වයේ වෙනසක් සමඟ වසර 3කින් අවසන් වුණා. ඒ තරම් කාලයක් යුද්ධය ඇදුණේ ඇයි?

පළමුවෙනි කාරණය තමයි යුද්ධය පටන් ගත්දා පටන් අපේ නායකයන්ට නිවැරැදි දැක්මක් නොතිබුණ එක. ඔවුන්ම දන්නෙ නැහැ ඔවුන් කරන්නෙ මොකක්ද කියල. තමාගැන වැටහීමක් ඔවුන්ට තිබුණෙ නැහැ. අනෙක හමුදාව තුළම තිබුණු යුද්ධය. බොහෝ අවස්ථාවල අපේ හමුදාවන්වල සෙබළු මිය ගියේ මෙහෙයුමට කලින් සතුරාට තොරතුරු ගිය එකෙන්.

ඒ නිසා හමුදාව තුළ මෙහෙයුමක් සිද්ධකරන්න සිදුවුණා. අනෙක් බරපතළම කාරණය තමයි නිවැරැදි ජාතික නායකත්වයක් නොතිබුණ එක. විදේශ බලපෑම් හමුවේ අපේ නායකයෝ රට ගැන නොහිතා ඔවුන්ට නැවෙන්න පටන් ගත්තා.

ඒ නිසා අපට සිදු වුනා යුද්ධය කරන ගමන් නායකත්වය වෙනුවෙන් සටන් කරන්න හරි නායකයෙක් හොයා ගන්න. එදා තිබුණ නායකත්වය ගැන කලකිරුණු තරුණයෝ යුද්ධයට යන්න මැලි වුණා. මවුපියෝ දරුවන් සටනට යැව්වේ නැහැ. ඒ නිසා අපට සිද්ධ වුණා තරුණ ආකර්ෂණය ගීතය, සිනමාව, ක්‍රීඩාව මේ හරහා දේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කරන්න. අපි බණ කීවට දේශනා පැවැත්වූවාට තරුණයෝ ඇදිල ආවෙ නැහැ.

l ඔය අවස්ථාවේ නේද ඔබ වහන්සේ ‘බල සෙනඟට සමර ගී” කැසට් පටය ඉදිරිපත් කළේ

අන්න හරි, දේශභිමානයත් එක්ක වීරත්වය එක්වුණ ගීත එකතුවක් එහි තිබුණෙ. මේ ගීත අහපු සෙබළමුළුවල පුදුම විදියේ ප්‍රබෝධයක් ඇති වුණා. මුළු රටේම ජාතික පිබිදීමක් ඇතිවුණා. තරුණයෝ හමුදාවට අලුතින් බැඳෙන්න පටන් ගත්තා. මව්පියෝ තමන්ගේ දරුවෝ ජාතියට පූජා කළා.

ඒ ඇතිවුණ මහා ප්‍රබෝධය කොතෙක් ද කියනවා නම් ලංකාවේ මෙතෙක් අලෙවි වුණ කැසට් පටවලින් කිසිම කැසට් පටයකට ඒ වාර්තාවට ළංවෙන්වත් බැරිවුණා. විශිෂ්ට ගායක ගායිකාවන් විශිෂ්ට තනු නිර්මාණවලට මගේ ගී පද රචනා ගැයුවේ. ඉන්පස්සේ ‘කසාවතින් රන් පන්හිඳ’ සංගත තැටියත් මම ඉදිරිපත් කළා.

l ඔබවහන්සේ ප්‍රමුඛව මේ යුද්ධයට යන්න තරුණයන් පොළඹවපු මානසික විප්ලවයෙන් පසුවත් අපේ රටේ තරුණයෝ විශාල වශයෙන් මැරුණනෙ. එදා යුද්ධය අසාර්ථක වුණානෙ.

ඒක තමයි මම කීවේ යුද්ධයට තරුණ දායකත්වය ලබා දෙන ගමන් අපිට සිද්ධ වුණ ජාතික නායකත්වය වෙනුවෙනුත් සටන් කරන්න. එතනදී තමයි මහින්ද රාජපක්‍ෂ කියන චරිතය ඉස්මතු වුණේ. ඔහු ජාතික නායකත්වයට ගේන්න අද ආණ්ඩුව ඇතුළෙ ඉන්න අය සමඟ පවා අපි සටන් කළා. ත්‍රස්තවාදීන්ට රට දෙන්න එපා කියන ගමන් ඒ සටන කළේ. මේක ලෝකෙ කිසිම රටක තිබුණ දෙයක් නොවේ. එහෙම අසරණ වුණ ජාතියක් තමයි 2009 දී ජයග්‍රහණය කළේ.

l ලොව දරුණුතම ත්‍රස්තවාදය පරාජය කර විශිෂ්ටයන් බවට පත්වූ අපේ හමුදාව ලද අත්දැකීම්, ත්‍රස්තවාදය පවතින වෙනත් රටවල් සමඟ බෙදාගැනීමේ වැඩපිළිවෙළක් තිබුණානම් හොඳයි කියල ඔබ වහන්සේට හිතෙන්නෙ නැද්ද?

සොබා දහමෙන් අපට ලබා දෙන සම්පත්වලින් නිසි ඵලලබා නොගන්නා ජාතියක් අපි. වෙලාවට අපිට ඉර නගිනවා. බැහැල යනවා. හඳ පායනවා බැහැල යනවා. වැස්ස හුළඟ ජලය මේ හැම දෙයක්ම තියෙද්දි අපි තවමත් එක තැනනෙ. මේ මොනවත් නැති බටහිර රටවල් කොච්චර ඉස්සරහට ගිහිල්ලද අවුරුද්දෙන් භාගයක් කළුවරේ. පරිසරයම හිමෙන් වැහිල ඒ මොනවත් ව්‍යසන නැති අපේ රටේ අපි තවම දුප්පත් අපි ලබපු යුද ජයග්‍රහණයම ඇති අපේ හමුදා සෙබළුන්ට ලෝක යේ ඉහළම ආරක්ෂක සේවයට බැඳෙන්න.

එදා 2004 දී ආපු සුනාමියෙන් ලැබුණු ජාතික එකමුතු බවම ඇති මේ රටේ සියලු ප්‍රශ්න විසඳන්න. ඒ එකමුතුකම් කලින් අපිට පුළුවන්කම තිබුණා ලොව සියලු ජාතින්ගේ සහයෝගය ඇතිව ජාතික ආර්ථිකයකට යන්න. මේ අවස්ථාවන්ගෙන් අපි ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙළක් නැති එකයි වරද, යුද ජයග්‍රහණයත් සමඟ ඇති වූ ආවේගය, ඒ සමගිය කවර කලෙකවත් රටේ ඇතිවුණේ නැහැ. එහි ප්‍රයෝජන ය ඇත්තෙන්ම අපි ගත්තෙ නැහැ.

l තරුණයන් දිරිගන්වලා ඔවුන්ව රණබිමට යවන්න ඔබ වහන්සේ සාර්ථක ක්‍රමවේද සැකසුවා. යුද ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ට ලබා දෙන සුබ සාධනය මොකක්ද?

එදා වගේම මම අදත් යුද්ධයට සම්බන්ධ වෙච්ච හැම රණවිරුවකුගෙම ප්‍රශ්න ගැන හොයල බලනවා. මට පුංචි ලියුම් කෑල්ලක් එව්වොත් ඒ ගැන මම හොයල බලල සහනයක් ලබා දෙනවා. මියගිය සෙබළෙකුගේ බිරිඳ නැවත විවාහ වුණොත් ඒ කිසිදු දීමනාවක් නොලැබෙන තත්ත්වයක් ඇතිකරලයි තිබුණෙ. මම මැදිහත් වෙලා ඒවා ඉවත් කරල දැම්මා. හමුදාවෙ සුළු ආබාධිත තත්ත්වයන් ඇති රණවිරුවන් සමඟ ගොවිපළක් පටන් ගත්තා. එය සාර්ථකව ඉදිරියට යනවා. සුළු හෝ ආදායම් තියෙනවා නම් එය යන්නෙත් රණවිරුවන්ගෙ සුබසාධනයට.

l හොඳයි මෙවැනි සිවිල් බලයක් ගොඩනඟාගත් ඔබ වහන්සේ ඇයි දේශපාලනයට පිවිසෙන්නෙ නැත්තෙ?

භික්ෂූන් රජුන් හදන්න අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා මිස රජ වෙන්න ගියේ නැහැ.

l එහෙම නෙවෙයි දේශපාලනය තුළින් ඔබ වහන්සේට යම් නීතිමය බලතලත් හිමිවෙනවනෙ. දේශපාලනයට පිවිසුනොත්

මට නොයෙක් විට ආරාධනා ලැබුනා. ඒ විදියට මම ගියා නම් මමත් අද පාර්ලිමේන්තුවේ තමයි. ඒත් මම නෙවෙයි එතැනට යා යුතු ජාතික ගිහි නායකත්වයක් බිහි කරන්නයි සූදානම. ඒ වෙනුවෙන් සුදුසුසන් තෝරා ගැනීමට තරුණ නායකයන් ගැන මම විමසිල්ලෙන් ඉන්නෙ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා