මල්ලිගේ ඇස් පාදන පොඩි හාමුදුරුවෝ

මල්ලිගේ ඇස් පාදන පොඩි හාමුදුරුවෝ

චෛත්‍යය පිහිටි වැලි තලාවේ හිස් බිම්කඩ ඔස්සේ ක්‍රිකට් පන්දුවත් රැගෙන කෝසල දිවයන්නේ පන්දුවට පහරදීමට පිත්තත් ඇතැතිව සිටින තම අයියාට පන්දුවක් යවන්නටය. තවමත් වයස අවුරුදු අට නොඉක්මවූ කෝසල යවන පන්දුව බාර ගැනීමට දහතුන් හැවිරිදි අයියා බලා සිටී. කසාවතින් සැරසී සිටින කෝසලගේ එකම සොහොයුරු කාශ්‍යප හිමි පන්දුවට වැරෙන් පහරක් එල්ලකර ලකුණක් කරා දිවයයි. කසාවතින් සැරසී සිටියත් පුංචි කාශ්‍යප හිමි තවමත් ඉඳහිට ළමා ලෝකයට උරුම කෙළිසෙල්ලම්වල නිරතවන්නේ චීවරයට අගෞරවයක් නොවන අයුරිනි.

පන්සලේ ලොකු හාමුදුරුවෝ සමඟ...

යටිනුවර ශ්‍රී සුදර්ශනාරාම දායක සභාවේ කාගේත් ආදරයට පාත්‍රවූ මෙම දෙසොහොයුරෝ ගසට පොත්තසේ එකට බැඳී සිටිති. මව්පියන් අහිමි ඔවුන්ට අද එකම සරණවී ඇත්තේ පන්සලේ ලොකු හාමුදුරුවන් වන යටිවැල්දෙණියේ මේධංකර හිමියෝය.

පොළොන්නරුවේ උපන් කාශ්‍යප අසිත කුමාර පොළොන්නරුවේ කාශ්‍යප නමින් පැවිදිවූයේ පසුගිය වසරේ වෙසක් පුන් පොහෝ දිනය. වසර 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති උදාවත් සමඟ යටිනුවර ශ්‍රී සුදර්ශනාරාමයේ දී පැවිදි වනවිට කාශ්‍යප හිමිගේ වයස අවුරුදු 12කි.

කාශ්‍යප හිමිට පියා අහිමිවූයේ වයස අවුරුදු හයේදීය. එවිට උන්වහන්සේගේ මල්ලී මෙළොව එළිය දකින්නට මව් කුසට වී පෙරුම් පුරමින් සිටියේය. පිළිකා රෝගයෙන් පියා මරුවැළඳ ගෙන ටික කාලයකට පසු මවද එම රෝගයට ගොදුරු වූයේ පුංචි කාශ්‍යපගේ හා මල්ලීගේ ජීවිත තවත් අඳුරට ඇද දමමිනි. ගොවිතැනින් ජීවිකාව ගෙනගිය කාශ්‍යපගේ මවට තරමක් හෝ හයියක් වීමේ අරමුණින් පුංචි කාශ්‍යප පාසල් අවසන්වී නිවසට ගියේය. කිරි ඉල්ලා අඬන මල්ලීට මව් කිරි ටිකක් දෙන්නට මවට නොහැකි වූයේ ඇය පියවුරු පිළිකාවකින් පීඩා විඳි නිසාවෙනි.

“පන්සලේ දහම් පාසලට තම දරුවන් ඇතුළු කිරීමට පැමිණි දායක මහතෙකුට මම දවසක් කිව්වා පැවිදි කරන්න හොඳ ළමයෙක් සොයා දෙන්න කියලා. පොළොන්නරුවේ දේවාලයක කපුමහතකු ලෙස සේවය කළ එතුමා මේ දරුවන් ගැන මට කිව්වා. මම මේ අයව බලන්න පොළොන්නරුව දිඹුලාගලට ගියා. කාශ්‍යප පුංචි කාලේ ඉඳලම මහණ වෙන්න ආසාවෙන් ඉඳලම තියෙන්නේ. එයා ගමේ පන්සලට ගිහින් සිවුරු දාගෙන කීප පාරක්ම ගෙදර ඇවිත් තිබෙනවා.” කාශ්‍යප හිමිගේ ගුරු හාමුදුරුවන් වන ශාස්ත්‍රපති යටිවැල්දෙණියේ මේධංකර හිමියෝ පැවසූහ.

වසර 2009දී දරුවෝ දෙන්නම අරගෙන කාශ්‍යපගේ අම්මා මෙහෙට ආවා. පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාදීම නිසා ඇගේ කොණ්ඩය ඒ වනවිටත් ගොඩක් අඩුවෙලා තිබුණේ. එතකොට කාශ්‍යපට අවුරුදු 10යි. එයාගේ මල්ලිට අවුරුදු 05යි. මේ අයියයි මල්ලියි හරිම එකතුයි. අයියා නැතුව මට ගෙදර යන්න බෑ කියලා. මල්ලී අඬනවා. මගේ රත්තරං පුතා බුද්ධ චීවරේ දාගෙන ඉන්නවා මේ ඇස් දෙකෙන් දකින්න මම ජීවත් වෙන්නේ නැතිවෙයි කියලා අම්මා අඬනවා. ඒ වගේම ඇය 2010 අවුරුද්දේ මෙලොව හැරගියා.

වසර 2009 දෙසැම්බර් මස 18 දින යටිනුවර මැද පළාත කරුඳුවත්ත ශ්‍රී සුදර්ශනාරාමයට පැමිණි කාශ්‍යප අසිත කුමාර පොළොන්නරුවේ කාශ්‍යප නමින් පැවිදිවූයේ වසර 2011 වෙසක් පුන් පොහෝ දිනයේදීය.

උන්වහන්සේ සමඟ එකම කාමරයේ වෙසෙන අට හැවිරිදි මල්ලීටද ඒ අභාෂය නිසා බුද්ධ ගජ්ජය නම් පොත, සිරිත්මල්දම, සකස්කඩ කට පාඩම්ය. ඒවාහි ඇති සියලුදේ ගිරවෙකු මෙන් කියන්නට පුංචි කෝසල රුසියෙකි.

කෝසල අධ්‍යාපනය ලබන්නේ ඌරාපොළ සුසිල කනිටු විදුහලේ තුන වසෙර්ය. උදේ පහට අවදිවන කාශ්‍යප හිමි මල්ලීගේ දත් මැද මුහුණ සෝදා පාසල් රැගෙන යාම යටිනුවර වාසීන්ට අමුත්තක් නොවේ. මල්ලීගේ ඇඳුම් සෝදා කවා පොවන සියලු දේද සිදුවන්නේ කාශ්‍යප හිමි අතිනි.

මල්ලීද අයියා ගිය මග ගොස් පැවිදි වීමේ ආසාවෙන් පසුවෙයි. එහෙත් විහාරාධිපති මේධංකර හිමියෝ මේ පුංචි කොළුවාට දැනුම් තේරුම් එනතුරු එය ප්‍රමාද කරති. තමන් පැවිදි වන දිනය තෙක් ජීවතුන් අතර නොසිටියත් තම මව වන යූ. ජී. භද්‍රාවතීගේ වර්ෂ පූර්ණ පින්කමට වැඩමකර අනුශාසනාවක් පවත්වන්නට කාශ්‍යප හිමියෝ පින්වන්ත වූහ.

මල්ලිට අකුරු කියා දෙන කාශ්‍යප හාමුදුරුවෝ

“මල්ලී හොඳට ඉගෙනගෙන සමාජයේ වැදගත් විදිහට ජීවත්වෙනවා දකින්න මම ආසයි. මහණවෙන්න මල්ලී කැමතිනම් ඒ ගැනත් මම සතුටු වෙනවා. මම මහණ වුණා කියලා මල්ලී මහණ වෙන්න ඕන නැහැ. හොඳින් බණ දහම් ඉගෙන ගෙන ශාසනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම තමයි මගේ අරමුණ.”

මෙලොව සියල්ල අනිත්‍ය බව බුදුන් වහන්සේ දේශනා කළහ. තමන් දැඩිසේ ආදරය කළ මවුපියන් අහිමිව කුඩා කලදීම බුදු වදනේ සත්‍යය අවබෝධකරගත් මෙම දරුවෝ අද බුදුන් ගිය මඟ යමින් සිටිති. ඔවුන්ගේ මව්පියන් කොතනක හෝ සිට අද තම දරුවන් සිටින තැන පිළිබඳ සැනසුම් සුසුම් හෙළන බව නම් නොඅනුමානය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා