උගත් පාඩම් කොමි‍සමේ නිර්දේශ ක්‍රියාවට නංවන රජයේ පිළිවෙතට අමෙරිකාවේ ප්‍රසාදය

උගත් පාඩම් කොමි‍සමේ නිර්දේශ ක්‍රියාවට නංවන රජයේ පිළිවෙතට අමෙරිකාවේ ප්‍රසාදය

ජී.එල් - හිලරි සාකච්ඡා පල දරයි

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රසාදය හිමිව තිබේ.

රටේ ප්‍රතිසංධානය හා සංහිඳියාව වෙනුවෙන් අතිශය වැදගත් නිර්දේශයන් රැසක් එම වාර්තාවේ අන්තර්ගත වන අතර ඒවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රජය ඉටුකරන මෙහෙවර සම්බන්ධයෙන් ප්‍රශංසා කරන බවද අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය සඳහන් කරයි. නිල සංචාරයක් සඳහා ඇමෙරිකාව බලාගිය විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවී පැවැති විශේෂ සාකච්ඡාවේදී ඒ මහත්මිය මේ කරුණු අනාවරණය කළ බව ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

වොෂිංටන් නුවර පිහිටි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී මේ හමුවීම සිදුව තිබෙන අතර විනාඩි 45 ක පමණ කාලයක් එම සාකච්ඡාව පැවැති බවද ශ්‍රී ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාවට නැංවීම සඳහා රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී රාජ්‍ය ලේකම්වරිය දැනුම්වත් කළ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතුටට පත්වන බව සඳහන් කර තිබෙන හිලරි ක්ලින්ටන් මහත්මිය ශ්‍රී ලංකාවේ සහජීවනය හා ප්‍රතිසංධානය වෙනුවෙන් ඇමෙරිකාවේ සහයෝගය තවදුරටත් ලබාදෙන බවද දෙරට අතර දිගු කලක සිට ශක්තිමත් සබඳතා පවතින බවද ප්‍රකාශකර තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය සාර්ථක ලෙස අවසන් වනු දැකීම සම්බන්ධ‍යෙන් සතුටට පත්වන බවද ඉදිරියටත් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවද පවසා ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවේ සාර්ථකව ඉදිරියට ගමන් කරමින් සිටින බවද අවධාරණය කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇමැති ජී.එල් පීරිස් මහතා ප්‍රකාශකර ඇත්තේ යුද්ධය අවසන් වී වසර දෙකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත රටේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් කි්‍රයාමාර්ග රැසක් ගෙන තිබෙන බවයි.

ඊට අතරව අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන්ගෙන් සියයට 90ට වැඩි පිරිසක් මේ වනවිටත් නැවත පදිංචි කර තිබෙන බවද පුනරුත්ථාපන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කර තිබෙන බවද ප්‍රකාශ කර තිබෙන විදේශ කටයුතු ඇමැතිවරයා පුනරුත්ථාපනය කොට සමාජගත කළ පිරිස් අතරින් 595ක් ළමා සොල්දාදුවන් බවද පෙන්වා දී ඇත. මේ අතර රටේ සෑම ප්‍රදේශයකම සියයට 8 කට වැඩි ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන බවද උතුරු පළාතේ පමණක් එම අගය සියයට 22ක් වැනි ඉහළ අගයක් පෙන්නුම් කරන බවද සඳහන් කර තිබෙන ඒ මහතා අනෙකුත් ප්‍රදේශවල පවතින ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙන බවද පවසා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා