ජනතාවට පීඩාවක් නොවනසේ මාර්ග ඉදිකිරීම් සිදු කරන්න

ජනතාවට පීඩාවක් නොවනසේ මාර්ග ඉදිකිරීම් සිදු කරන්න

- ජනපති

මහා මාර්ග ඉදිකිරීමේ දී පදිකයන්ට එම මාර්ග ප්‍රයෝජනයට ගතහැකි පරිදි සහ අධිවේගී මාර්ග ඉදි කිරීමේදී ගැමි ජනතාවට අවහිර නොවන පරිදි මාර්ග දෙපස ගම්මාන අතර සබඳතා පවත්වාගත හැකිවන අයුරින් ඉදිකිරීම් කටයුතු කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කුමන තරාතිරමක බලපෑම් පැමිණිය ද මාර්ග ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්තු පළපුරුදු ආයතන වෙත ලබාදිය යුතු වන අතර එමඟින් ඇතිවන ප්‍රමාදයන් අවමකර ගැනීමට හැකි බවද විශේෂයෙන්ම මාර්ග ඉදිකිරීම් කටයුතු නිරන්තරයෙන් අධීක්ෂණය කළ යුතු බවද ඒ මහතා ‍පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සෙත්සිරිපායේ දී පැවැති මාහාමාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමිනි.

අභයභූමි හරහා මාර්ග ඉදිකිරීමේදී වන සතුන්ගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ ස්වාභාවික හැසිරීමට බාධා නොවන අයුරින් මාර්ග ඉදිකිරීම කෙරෙහි අවධානය යොමුකළ ජනාධිපතිවරයා "ගෝල්ෆේස් සිටි" ඉදිකිරීමේදී නගර අලංකරණය මෙන්ම වාහන තදබදය අවම කිරීම සඳහාද ගාලු මුවදොර සිට කොල්ලුපිටිය දක්වා උමං මාර්ගයක් ඉදිකිරීම යෝජිත බවද සඳහන් කළේය.

මේ අතර කොළඹ සිට බත්තරමුල්ල දක්වා අපහසුවකින් තොරව ගමන් කිරීමට මාර්ගයක් ඉදි කිරීමේ අවශ්‍යතාවයද ඒ මහතා පෙන්වා දුන්නේය.

මඟ නැඟුම යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එමඟින් ලැබෙන ලාභය සමාජ සුබසාධනය වෙනුවෙන් යෙදවීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

මාර්ග ඉදිකිරීමේදී ඒවා පුළුල් කිරීමට හැකිවන සේ සැලසුම් සකස් කළ යුතු බවද ඉදිරි මාර්ග පුළුල් කිරීම සඳහා ඉඩකඩ ලැබෙන පරිදි මාර්ග දෙපස ගොඩනැඟිලි ඉදි කිරීමේදී හා වෘක්ෂලතා රෝපණය කිරීමේදී සළකා බැලිය යුතු බවද හෙතෙම සඳහන් කළේය. මේ අතර මහා මාර්ග සම්බන්ධයෙන් මහජනතාවට පවතින පැමිණිලි ඉදිරිපත් කිරීම මෙන්ම තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් දුරකථක අංක 1968 හදුන්වාදීමද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිණි.

මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල, වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා