කලාපයේ ආර්ථික හා වාණිජ මධ්‍යස්ථානයක් වීමට රට පෙරට

කලාපයේ ආර්ථික හා වාණිජ මධ්‍යස්ථානයක් වීමට රට පෙරට

දෝහා කටාර් ආර්ථික සම්මේලනයේ දී ජනපති පවසයි

දශක තුනක කාලයක් පැවැති යුද ගැටුම් සාර්ථක ලෙස නිමාවට පත් කළ ශ්‍රී ලංකාව කලාපයේ ආර්ථික හා වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ඉදිරියට එමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

නිල සංචාරයක් සඳහා කටාර් රාජ්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ මැද පෙරදිග කලාපයේ ආර්ථික ප්‍රගතිය සම්බන්ධයෙන් වන දෝහා ආර්ථික සම්මේලනයේ 12 වැනි සැසිවාරය අමතමිනි.

ආර්ථික වශයෙන් සමෘද්ධිය ළඟා කරගත හැකි වන්නේ එක් රටක් වශයෙන් නැඟී සිටියහොත් පමණක් බව පවසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනතාව ආර්ථික වශයෙන් බළගැන්වීම හා සංහිඳියාවෙන් තිරසාර සාමයක් ළඟාකර ගැනීම සඳහා අවශ්‍ය දුර ගෙවා යාමට රජය කැපවී සිටින බවද එම කාර්යයේ මේ වනවිටත් නියැළී සිටින බවද ප්‍රකාශ කරයි.

කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-කානි මහතාග් ආරාධනයෙන් දෝහා ආර්ථික සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවට සහභාගි වෙයි.

1931 දී සර්වජන ඡන්ද බලය ලබාගත් ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වූ ශ්‍රී ලංකාව සාමයේ, සෞභාග්‍යයේ නව යුගයක් කරා පියවර තබන අවස්ථාවේ දී දෝහා ආර්ථික සම්මේලනය ඇමතීමට අවස්ථාව ලැබීම පිළිබඳව ජනාධිපතිතුමා සිය සතුට පළ කෙළේය. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ හෝ බර්ගර් න කිසිදු වෙනසකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන් තිස් වසරක් පුරා ත්‍රස්තවාදයෙන් අප්‍රමාණ ලෙස බැට කෑ බව කී ජනාධිපතිවරයා බොහෝ රටවල් ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්ව සිටිය දී ග්‍රාමීය ආර්ථිකය හා කෘෂිකර්මාන්තය බලාත්මක කිරීමේ ප්‍රතිපත්තියකින් ඉදිරියට ගෙන යාමට හැකි වූ ආකාරය ද මෙහිදී පැහැදිලි කළේය.

ආහාරවලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් ළඟා වෙමින් සිටින අතර වෙළෙඳාම සහ වාණිජ කටයුතු මුල් කරගනිමින් කලාපයේ ආර්ථික මධ්‍යස්ථානය බවට පත්වීම ශ්‍රී ලංකාව් අධිෂ්ඨානය වී ඇත.

දකුණු ආසියානු කලාපයේ සාක්ෂරතාවේ ඉහළම ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ පුළුල් පැතිරුම ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බවද නව තාක්ෂනයේ අවශ්‍යතා පිළිබඳ පරීක්ෂාකාරී වෙමින් ආසියානු කලාපයේ දැනුමේ කේන්ද්‍රය බවට කඩිනමින් පත් කරන තොරතුරු තාක්ෂණයේ වර්ධනය වෙත ඉතා වේගයෙන් ගමන් කරමින් සිටින බව ද එහිදී ජනාධිපතිවරයා පෙන්නා දුන්නේය. කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-කානි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මැදපෙරදිග ආර්ථික ප්‍රගතිය පිළිබඳ දෝහා ආර්ථික සම්මේලනයේ 12 වැනි සැසිවාරයට මැදපෙරදිග, යුරෝපය, ආසියා රටවල රාජ්‍යයන් ඇතුළුව රටවල් සහ සංවිධාන 84ක් නියෝජනය කරමින්, ආරාධිතයන් 600 දෙනකු පමණ සහභාගී වන අතර කටාර් හි දෝහා නගරයේ ෂෙරිටන් හෝටලයේ දී ඊයේ (20) ආරම්භ විය. සමුළුව මෙම 23 දා අවසන් වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා