ගෞරවනීය සාමය ගෙනා රණවිරුවන්ට එවැනිම ගෞරවනීය ජීවිතයක් අප ලබා දුන්නා‍

ගෞරවනීය සාමය ගෙනා රණවිරුවන්ට එවැනිම ගෞරවනීය ජීවිතයක් අප ලබා දුන්නා‍

විජයග්‍රහණයේ තෙවැනි සැමරුමට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි

“රණවිරුවන් ජාතිය වෙනුවෙන් හෙළූ ලේ, කදුළු, දහදියට අපි අර්ථයක් ලබා දීලා තිබෙනවා. දිනා දුන් රට ආරක්ෂා කරගෙන අදීන ස්වාධීන, යටත් නැති, ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට මේ රට ගොඩනැගෙමින් පවතිනවා” යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ත්‍රස්තවාදය පරාජය කර ලත් විජයග්‍රහණයේ තෙවැනි සැමරුමට ගාලුමුවදොර පිටියේදී පෙරේදා (19) එක්වෙමිනි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය. අද මැයි මාසයේ 19 වැනිදා මේ රටේ ශ්‍රේෂ්ඨ ඵෙතිහාසික දිනයක් බවට පත්වෙලා තිබෙන බව මම අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. අද අපි ජාතික ධජය යටතේ සමරන්නේ විජයග්‍රහණයේ තෙවෙනි සැමරුම. මේ වසර දහස් ගණනක් තිස්සේ රැක ගත් ‍මාතෘ භූමියට ගෞරවනීය සාමයක් ගෙන එ‍මේ විජයග්‍රහණයයි. ඒ වාගේම ප්‍රාණ ඇපයට ගත් ලක්ෂ ගණනාවක් උතුරේ ජනතාව නිදහස් කර ගැනීමේත් සියලු ජනතාවගේ තිබුණු මරණ බිය තුරන් වීමේත් විජයග්‍රහණයයි කියලා කිවුවොත් නිවැරදියි.

අපට නිදහසේ ඇවිදින්න රණවිරුවන් ඔවුන්ගේ දෙපා පූජා කළ බව අපි දන්නවා. සියලු ජාතීන්ට අභය දානය දෙන්න ඔවුන් ජීවිතය දන් දුන්නයි කියන එකත් අපි දන්නවා. අපට නිදහසේ හුස්ම ගන්න ඔවුන් ඔවුන්ගේ අවසන් හුස්ම මේ වාතලයට මුසු කළා. ජාතිය ඒ සියල්ල සදා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. කරනවාත් ඇති.

අපි එපමණකින් නතර වෙන්නේ නැහැ. ජාතිය වෙනුවෙන් හෙලපු ලේ, කදුළු, දහදියට අපි අර්ථයක් ලබා දීලා තිබෙනවා. දිනා දුන් රට ආරක්ෂා කරගෙන රට අදීන ස්වාධීන යටත් නැති ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් බවට මේ රට ගොඩනැගෙමින් පවතිනවා. මට මතකයි ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකා තර කරන කොට මේ යුද්ධය ඉවර වුණාම මේ තරම් හමුදාවකට මොකද කරන්නේ, මේ අය නඩත්තු කරන්නේ කොහොමද, මේක මහ විශාල නාස්තිකාර වියදමක් නොවෙයිද කියා යුද්ධය අවසන් කරන්නත් පෙර අපෙන් ප්‍රශ්න කරපු බව, අපිව විවේචනය කළ බව‍.

අද මේ විවේචන යුක්ති සහගතද කියලා තමුන්නාන්සේලාම හිතලා බලන්න. ත්‍රස්තවාදය තිබෙන කොට රණවිරුවන්ට විශාල වගකීමක්, කාර්යභාරයක් තිබුණා. ඒ වගේම තමයි සාමය තහවුරු කළ වර්තමාන ශ්‍රී ලංකාවෙත් විරුවන්ට විශාල වගකීමක්

පැවරිලා තිබෙනවා. මේ රට ගොඩනගන්න පමණක් නොවෙයි මේ රට ලස්සන කරන්නත් අපේ රටේ රණවිරුවෝ ශ්‍රේෂ්ඨ කාර්යභාරයක් ඉටුකරනවා.

ගෞරවනීය සාමයක් ගෙනා රණවිරුවාට ගෞරවනීය ජීවිතයක් අපි ලබාදීලා තිබෙන බව මා නිහතමානීව ආඩම්බරයෙන් කියනවා. රණවිරු නිවාස ව්‍යාපෘතිය ‍මං හිතන්නේ ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක වුණ ලොකුම නිවාස ව්‍යාපෘතිය. ඒ වගේම ඔබගේ දරුවන්ට ජාතික පාසල් ලබා දෙන්න කටයුතු කළා විතරක් නොවෙයි ඔවුන් වෙනුවෙන් වෙනම ගොඩනගපු රණවිරු පාසල ලංකාවේ තිබෙන හොඳම පාසලක් බවට පත්වෙලා තිබෙනවා.

ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ජාතික ගීය ගායනා කිරීමට එක්වූ අයුරු. ඡායාරූප-ජනාධිපති මාධ්‍ය ඒකකය

මම දැක්කා අද මෙතැනට ඇවිත් තිබෙනවා ඒ දුවා දරුවෝ. ඒ වගේම ආබාධිත වුණු සෙබළුන් ජීවිතය තිබෙන තුරු ‍මිහිදු සෙත්මැදුරේ, අභිමංසලේ සෙවණ යටතේ බලා ගන්න වැඩපිළිවෙළක් හදලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි විශ්‍රාම ගියාට පස්සේ ඔබට ජීවත් වෙන්න අවශ්‍ය වෘත්තීය පුහුණුව ලැබීමට අවශ්‍ය කටයුතු කරලයි ඔවුන් නිදහස් කරන්නේ. රක්නා ලංකා ආරක්ෂක සේවය ගොඩනගලා තිබෙන්නේ විශ්‍රාම යන සෙබළුන් වෙ‍නුවෙන්.

රණවිරුවන්ගේ නූපන් දරුවන්ටත් අපගේ ආදරය හිමිවෙලා තිබෙනවා. විරු පවුලක උපදින තුන්වෙනි දරුවාට රුපියල් ලක්ෂයක් දෙන්න අපි පහුගිය කාලේ අයවැයෙන් යෝජනා කළා. මම දන්නේ නැහැ මේකෙන් ප්‍රයෝජන ගන්නවද කියලා. මම ආරාධනා කරනවා. ඒ විතරක් නොවෙයි රණවිරුවන් අතර ඉන්න කලාකාමී තරුණ තරුණියන්ගේ කලා හැකියාවන් රටේ ප්‍රසිද්ධ කරලා ඔවුන්ගේ නම රටේ පතල කරන්න, ඔවුන්ගේ කුසලතා ඔප්නංවන්න අවස්ථාවක් අපි උදා කරලා දී තිබෙනවා. මම හිතන්නේ නැහැ ලෝකයේ කොහෙවත් රණවිරුවන්‍ට මේ විදියට සලකනවා කියලා.

තමුන්නාන්සේලා මතක ඇති ත්‍රස්තවාදය නිසා වරස තිහක් තිස්සේ අපි කවරුත් තහංචි බාධක මැද හිරවෙලා හිටියා. යුද්ධය නිමා කරලා වසර තුනයි ගත වුණේ. ඒ තිස් අවුරුද්දක් තිස්සේ බාධා දාලා තිබුණ රට සාමාන්‍ය තත්ත්වයට අද පත්වෙලා. අවතැන් කඳවුරු, බිම් බෝම්බ, තර්ජිත ගම්මාන අද අපේ ශබ්ද කෝෂයෙන් ක්‍රමානූකූලව මකා දාලා ඉවරයි. හදිසි නීතියක් නැහැ. අධිආරක්ෂිත කලාප නැහැ. කිලෝමීටර් දෙක තුනකට විතරක් නොවෙයි මේ ගාලු පාරේ එනවිට තිබුණු මාර්ග බාධකත් අද ඉවත් කරලා.

එදා වසර තිහක් පුරා විශේෂයෙන් උතුරු නැගෙනහිර අවි ගත්ත කල්ලි කණ්ඩායම් හිටියා. ඒක නොරහසක්. දැන් ඒ කල්ලි සියල්ල නිරායුධ කරන්න කටයුතු කර අවසන්. ධීවරයන්ට මුහුදේ යන්න තිබුණු දුර සීමා කරලා තිබුණේ. මේ පළාතකටවත් එන්න දුන්නේ නැහැ. දැන් ඒ සීමා කිසිවක් නැහැ. පාතාලය, කුඩු ජාවාරම්කාරයන්ගේ යුගය අවසාන වීගෙන එනවා. දැන් ශ්‍රී ලංකාව තහංචි නැති, බාධා නැති රටක් බවට පත්වෙලා තිබෙනවා. රටේ තත්ත්වට එහෙම වුණත් සමහරුන්ගේ මනසේ නම් තහංචි බාධා තිබෙන බව අපි දන්නවා. ජනතාවගේ හදවතට සහනය දැනුනත් රටට මේ සහනය ලැබෙන බව පිළිගන්න සමහරු අකැමැතියි.

අපි දන්නවා උතුරේ හෝ නැගෙනහිර හෝ පරිපාලනයට හමුදාව සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. සිවිල් සේවයත් පොලීසියත් තමයි ඒ ප්‍රදේශවල පරිපාලනය කරන්නේ. තත්ත්වය ‍එසේ වුවත් සමහරු කෑගසනවා මේ කඳවුරු ඉවත් කරන්න කියලා. මේවා ඉවත් කරන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ප්‍රභාකරන් ආයුධ නැව් යොදාගෙන, ගුවන් යානා යොදවලා, මුහුදු කොටි, මිනිස් බෝම්බ යොදවලා, මරාගෙන මැරිලා වසර තිහක් යුද්ධ කරලා කරගන්න බැරිවුණු දේ මේ අය වෙන විදියකින් කරගන්න තමයි මේ මහන්සි වෙන්නේ. උතුරේ හමුදාව ඉවත් කරන්න කියලා කියන අයගෙන් අහන්න ඕනෑ මේ රට සාමාන්‍ය තත්ත්වයට ආවත් ඩයස්පෝරාව, ඊළාම්වාදීන් තමන්ගේ වැඩ නතර කර තිබෙනවාද කියා. ළමා සොල්දාදුවන් යුද්ධය‍ට බඳවා ගත් අය, යුද අපරාධකාරයෝ, එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායකයෝ පිටරටවල සිට නිදහසේ ක්‍රියාත්මක වන බව අද රහසක් නොවෙයි. ඒ අයගේ වැඩ වාගේම ඉල්ලීම් තවමත් එහෙමමයි. එහෙනම් අපිට උතුරෙත් හමුදා කඳවුරු ඉවත් කරලා ජාතික ආරක්ෂාවට තිබෙන අවධානය අඩු කරන්න පුළුවන්ද? බැහැ. උතුරේ විතරක් නොවෙයි මුලු ලංකාව පුරාම හමුදා කඳවුරු තිබෙනවා. කොළඹත් තිබෙනවා. දකුණෙ ගිරුවායෙත් තිබෙනවා. මේ අ‍පේ රටේ මේවා තිබෙන්නේ. පිටරටක් නොවෙයි.

අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වට තිබෙන, ලොව සියලුම රාජ්‍යයන් සමඟ සුහදව කටයුතු කරන, සමානව හිඳ ගන්නා රටක්. නොබැඳි රටක්.

අපිට අපේ ප්‍රශ්න විසඳගන්න අවශ්‍ය ශක්තිය තිබෙනවා. අවුරුදු තිහකට පස්සේ අපි මේ උදාකරගෙන තිබෙන්නේ අනාගතයට යන්න පුළුවන් ස්වර්ණමය යුගයක්. මේ වගේ නිදහස්, සාමකාමී, දේශපාලන ස්ථාවරත්වයක් ඇති රටක්, ආර්ථික වශයෙන් විශාල සංවර්ධනයක් තිබෙන රටක් ගොඩනගා ගැනීම ලෝක මට්ටමින් ගත්තත් අමාරු කාර්යයක් බව මම අමුතුවෙන් කිවයුතු නැහැ.

අපි දැන් හිස ඔසවන්න පටන් ගත්තා විතරයි. අපිට ඕනෑ හොඳ දියුණු, සංවර්ධිත රටක් ලෝක සිතියමට එකතු කරන්න. ත්‍රස්තවාදය පරාජය කරන්න එදා අසල්වාසී රාජ්‍යයන් ඇතුළු ලෝක ප්‍රජාව දීපු සහාය අපිට අමතක වෙලා නැහැ. ඒ වගේම ඔවුන්ගෙන් අපි බලාපොරොත්තු‍ වෙන්නේ අපේ සංවර්ධනයේදීත් ස‍හයෝගයයි.

අපි උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම පැනෙව්වේ ජාතීන් අතර සංහිඳියාව ඇති කර ගැනීමේ විශාල බලාපොරොත්තු ඇතිව. මේ වෙනකොටත් උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ අපිට එකඟ විය හැකි දේ, ‍ක්‍රියාත්මක කළ හැකි දේ ක්‍රියාත්මක කරගෙන යනවා. කාගෙන්වත් බලපෑම් හින්දා නෙමෙයි. අපි වගකීම් පැහැර හරින්නේ නැහැ. උතුරේ නිදහස් කරගත් දෙමළ ජනතාවට වසර තුනක් තිස්සේ කළ සේවය අනුව ලෝ‍කයේ රාජ්‍යයන්ට මේ බව පැහැදිලිව පෙනෙන්න ඕනේ කියලයි මා විශ්වාස කරන්නේ. ඒ නිසා ජාතීන් අතර සංහිඳියාවට පත් කළ කොමිසමේ වාර්තාව ජාතීන් අතර බේද ඇති කරන්න යොදා ගන්න අපිට ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ.

‍එදා තිබුණු පටු හැඟීම් අද ජාතීන්ගෙන් ඈත් වෙලා තිබෙන බව තමුන්නාස්සේලාට පෙනෙනවා ඇති. දැන් උතුරේ දකුණේ විවාහ සම්බන්ධකම්, ඥාතී සම්බන්ධකම් ගොඩනැගෙන මේ සුන්දර අත්දැකීම් අපිට පේනවා. අද උතුරු නැගෙනහිර අවිගත් තරුණ තරුණියෝ අද ඒවා විසිකරලා නීතිය අතට ගෙන ‍පොලීසියට, හමුදාවට බැදෙන්න සූදානම් වෙලා තිබෙනවා. ජාතික දේශපාලන පක්ෂ අද බියෙන් තොරව උතුරේ දේශපාලන කටයුතු කරගෙන යනවා. ත්‍රස්තවාදය පරාජය කළ නිසා සාමය සඳහා ලැබුණ මේ ඉඩෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. මේක ඊළාම්වාදීන්ට ලැබුණ අවස්ථාවක් නොවෙයි. ඔබ එය නැති කළා රණවිරුවනි.

මේ විජයග්‍රහණය ආරක්ෂා කර ගන්න අපිට ඉවසීම තිබෙන්න ඕනෑ. කලබල වෙලා, බයවෙලා, හදිසි වෙලා තීන්දු ගන්න පුළුවන්කමක් නැහැ. ඒවා වැඩිකල් පවතින්නේ නැහැ. දුර දැක්මෙන් යුතුව රටේ අනාගතය දිහා බලලා කටයුතු කරන්න ඕනෑ.

පටු අභිලාශයන්ගෙන් ඈත්වෙලා අපි කටයුතු කරමු. අනාගතයේ කිසිවකුට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි මහා සංවර්ධිත සාමකාමී රටක් උපන්, නූපන් දරුවන් වෙනුවෙන් අපි ගොඩනගමු. එයයි විජයග්‍රහණය. එදාටයි විජයග්‍රහණය.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික නායකයෝ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ, අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්ම මහත්මීහු, මැති ඇමැතිවරු, තානාපතිවරු ප්‍රමුඛ විදෙස් නියෝජිතයෝ, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීහු ද මේ අවස්ථාව‍ට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා