උදේට අහන බණ හවසට අමතක කරනවා ඉතිං රටක් දියුණු වෙයි ද?

උදේට අහන බණ හවසට අමතක කරනවා ඉතිං රටක් දියුණු වෙයි ද?

සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමාධිපති

සමාජමය වශයෙන් ගත්කල්හි අද පුද්ගලයන් තුළ දැනුම, කුසලතා යනාදියෙහි අඩුවක් දක්නට නොලැබුණ ද ආකල්පමය වශයෙන් ඇත්තේ පිරිහීමකි. කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරම පුරාණ විහාරවාසී සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමාධිපති මොරවක ශ්‍රී සෝරත හිමියන් සමඟ සාකච්ඡා කරන්නේ අද පුද්ගලයන් තුළින් විද්‍යාමාන වන ආකල්පමය පිරිහීම පිළිබඳවයි.

l ප්‍රථමයෙන් “ආකල්ප” යන වචනය පිළිබඳ විග්‍රහයක් කළහොත්?

සරලවම කිවහොත් ආකල්ප කියන්නේ හැදිච්චකම. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයකු ලෙස ඉපදීම දුර්ලභ කාරණයක්. අපිට ඒ භාග්‍ය උදාවෙලා තියෙනවා. දැන් අපිට හිතන්න පුළුවන් මනසක් තිබෙනවා. ඒ නිසාමයි අපිට මනුෂ්‍ය කියන්නේ. මේ මනස ඉහළම තලයකට දියුණු කළ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ.

උන්වහන්සේ දේශනා කළෙත් මනුෂ්‍ය ලෝකයේ ඉපදීම මහා දුර්ලභ කාරණයක් බවයි. උන්වහන්සේ දේශනා කළ ආකාරයට අපිට දැන් ඒ දුර්ලභ අවස්ථාව උදාවෙලා තිබෙනවා. මේ ලැබූ මනුෂ්‍ය ආත්මය තුළ සැබෑ මනුෂ්‍යයෙකු ලෙස ජීවත්වෙන්න තමයි ආකල්ප අවශ්‍ය වන්නේ.

සැබෑ මනුෂ්‍යයා නිර්මාණය වන්නේ ආකල්පමය අංශයක් සමඟයි. ආකල්පමය අංශය නොමැති වූ විට තමයි අපිට මනුෂ්‍යයා තුළ තිරිසනුන්, යක්ෂයන් වගේම ප්‍රේතයන් පෙනෙන්නේ. මනුෂ්‍යයන් ලෙස ඉපදිලා මනුෂ්‍ය ධර්මවලින් පෝෂණය වුවහොත් තමයි ආකල්පමය සංවර්ධනයක් ඇතිවෙන්නේ. ආකල්ප තුළින් සැබෑ මනුෂ්‍යයන්ගේ ප්‍රතිරූපය පෙනෙනවා.

l පුද්ගලයන් තුළ යහපත් මෙන්ම අයහපත් ආකල්පත් පවතිනවා. මේ ආකල්පමය වෙනස සිදුවන්නේ කුමන ආකාරයෙන්ද?

ඉතිහාසයේ සිටම මිනිස්සු ඉපදුණේ පවතින ලෝකයක. අදත් එහෙමයි. එවැනි පවතින ලෝකයක ඉපදුණාම අපි කැමති දේවල් වගේම අකමැති දේවලුත් තිබෙනවා. ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයට දැනෙන සුවඳ, දිවට දැනෙන රස අපි කැමති කොටස ලෙස වෙන් කර ගන්නවා ඒ වගේම අපි දකින්න, අහන්න, ආග්‍රහණය කරන්න අකමැති දේවල් අපි ඈත් කරනවා.

නමුත් ඈත් කරන්න කරන්න ඒවා ලංවෙනවා. එවිට අපි ඒවාට දක්වන්නේ දරුණු ප්‍රතිචාර. ද්වේශය, කෝපය වැඩිකරගෙන ඊට විරුද්ධව ප්‍රායෝගිකව ක්‍රියාවලීන්ට එළඹෙනවා. එවිට මනස “පදුට්ට චිත්ත” නරක්වුණු සිතක් බවට පත් වෙනවා. ඒ නිසා ගිනියම් සිතින් ජීවිත හානියක්, දේපළ හානියක් වුණත් යම් කෙනෙකුට කරන්න පුළුවන්.

ඒ වගේම ඇතැම් අයට සෙත් කවි කියන්නෙත්, තවත් කෙනෙකුට වස් කවි කියන්නෙත් මේ සිතේ හටගන්නා කැමැත්ත අකමැත්ත නිසයි. මිනිස්සු කැමති දේවල්වලට ප්‍රයෝගික ක්‍රියාවලි හදාගෙන මගේ කරගන්නවා වගේම අමනාප සිත් ඇති හැමදෙයක් සමඟම තැවෙනවා. ඒවා විනාශ කරන්න ක්‍රියාත්මක වෙනවා.

මනාප දේ ලංකර ගන්නේත් අමනාප දේවල් ඈත් කරන්නේත් සැප අපේක්ෂාවෙන්. මේ කැමැත්ත අකමැත්ත අනුව තමයි පුද්ගලයන්ගේ ආකල්ප ගොඩනැගෙන්නේ. මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා ලෙස බුදුරජාණන් වහන්සේ එය අවබෝධ කරගත්තා. මෙය අතීතය, වර්තමානය වගේම අනාගතයේත් සිදුවන ක්‍රියාවලියක්.

l ධර්මානුකූල ප්‍රතිපදාවෙන් ආකල්ප සංවර්ධනයට ලැබෙන පිටුබලය කෙබඳුද?

දෛනික ජීවිතයේදී ගැඹුරින් සාකච්ඡා නොකළ ද ධර්මය තුළින් සිදු කරන්නේ මිනිිසුන්ගේ ආධ්‍යාත්මික ලෝකය සුවපත් කිරීමයි. යම් කෙනෙකුගේ මනස ආධ්‍යාත්මිකව සුපවත් වෙන කොට ඔහුගේ හෝ ඇයගේ හදවත ගිනිගන්නේ නැහැ. ගිනි නොගන්නා කෙනෙකුගේ මුවින් පිටවෙන්නේ සිසිල් වචන. ඒ වචන තවත් කෙනෙකුගේ හිත පාරවන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ වචන තව කෙනෙකුගේ හිත රිඳවන ඇනුම්පද වෙන්නේ නැහැ.

යහපත් සිතක් ඇති තැනැත්තා තුළ පළිගැනීමේ චේතනා නැහැ. වචන දරුණු වෙන්නේ නැහැ. පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය හොඳ නම් වචන වගේම හැසිරීමත් හොඳ වෙනවා. ගිනිගත්තු සිත් ඇති පුද්ගලයන් තමයි ගිනියම්වෙලා දඟලන්නේ. නිවුණු කෙනා එහෙම වෙන්නේ නැහැ. ධර්මය තුළින් සිදු කරන්නේ පුද්ගලයන්ගේ මේ ආධ්‍යාත්මික අංශය දියුණු කිරීමයි.

l අද සමාජයේ පුද්ගලයන් තුළ තිබෙන ආධ්‍යාත්මික නැඹුරුව පිළිබඳ කතා කළොත්?

වර්තමානයේ පුද්ගලයන්ගේ ආකල්ප සංවර්ධනයට උපකාරවන බුදුදහම තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් තවත් නැහැ. නමුත් මේ තරම් උතුම් ධර්මයක් තිබුණත්, මොනතරම් බණ ඇසුණත් බොහෝ අයට එය අමතක වෙලා. අපි ජීවත්වන සියවස වන විට අපි කියන්නේ මෙය විශ්ව ගම්මානයක් බවට පත්වෙලා කියලයි. ඒ අනුව ලෝකය එකම ගම්මානයක් බවට පත් කරන්නේ තාක්ෂණය හා විද්‍යාව.

නමුත් මේ සියල්ල භෞතික දේවල්. බටහිර විද්‍යාව පහළ වුණේ ක්‍රි.ව. 6 වන සියවසේ. නමුත් බුදුහාමුදුරුවෝ පහළ වුණේ ක්‍රි.පූ. 6 වන සියවසේ ඒ කියන්නේ විද්‍යාව පහළ වුණේ් බටහිර විද්‍යාව පහළ වෙන්න අවුරුදු 1200 පෙර. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාවේදී දේශනා කළේ “විජ්ජා උදපාදි” විද්‍යාව පහළ වුණා. “ ආලෝකෝ උදපාදී” ආලෝකය පහළ වුණා යනුවෙන්. උන්වහන්සේට මිනිස් සිතකට අවබෝධ විය යුතු සියල්ල අවබෝධ වුණා.

නමුත් බටහිර විද්‍යාව තවමත් තිබෙන්නේ පර්යේෂණ මට්ටමේ. එහි අනුමාන ප්‍රකාශ ඕනෑතරම් තිබෙනවා. නමුත් බුද්ධ භාෂිතය තුළ අනුමාන ප්‍රකාශ නැහැ. ප්‍රත්‍යක්ෂ ප්‍රකාශ පමණයි තිබෙන්නේ. මම මේ උදාහරණය පෙන්වා දුන්නේ පුද්ගලයෙකුට මේ උතුම් බුද්ධ ධර්මයෙහි තිබෙන සත්‍යතාව පිළිබඳ අවබෝධයක් ලබාදීමටයි. අද බොහෝ දෙනෙකුට තිබෙන්නේ අවබෝධයේ තිබෙන අඩු කමයි. මෙතරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් ලොව පවතිද්දී ඇතැම් අය ඒ පිළිබඳ අවධානයක් යොමු නොකරන්නේ ඒ නිසයි.

ඒ වගේම මේ විශ්වගම්මානය ගතහොත් විවිධ සංස්කෘතික, ආගම්, ජාතීන්වලට අයත් පුද්ගලයන් සිටිනවා. ඒ නිසා අපේ දරුවා මේ විශ්වගම්මානයට යවද්දී එම දරුවාට අපේ සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ ගණනය කර යැවීමත් වැදගත්. ඒ වගේම මේ ලෝකයේ සංස්කෘතික වෙනස්වීම්, දේශගුණික විපර්යාස ආදී සියල්ල පිළිබඳ අවබෝධයක් ඇති ළමයෙකු අපි ලෝකයට විවෘත කළ යුතුයි.

l අද ළමයින්ගේ ආකල්ප පිරිහී ඇති බව බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. එම ප්‍රකාශය කොතරම් නිවරැදිද?

අද දියුණු සන්නිවේදන මෙවලමක් වන ජංගම දුරකථනය අපේ දරුවන් අතටත් ලැබිලා තිබෙනවා. මේ ජංගම දුරකථනය ව්‍යාපාරික ආයතනයකට, නිවසකට වැදගත් වෙන්න පුළුවන්. නමුත් පාසල් යන දරුවාට ජංගම දුරකථන අවශ්‍ය ඇයි? පාසල දරුවාගේ භාරකරුවෙක් නිසා පාසලේදී ගැටලුවක් මතුවුවහොත් පාසලෙන් ගෙදර දැනුවත් කරනවා. ඒ වගේම අද දරුවාට පණිවිඩයක් දිය හැකි ආකාරයට හන්දියක් හන්දියක් ගානේ දුරකථන පහසුකම් තිබෙනවා. ජංගම දුරකථනය දරුවා අයහපතට යොමුකරවන එක මාර්ගයක්.

ඒ වගේම අද උසස් පෙළ දරුවෙකුට අනිවාර්යයෙන් ප්‍රේම සම්බන්ධයක් තිබිය යුතුයි කියලා බොහෝ අය හිතනවා. ඒක නැත්නම් උසස් පෙළට අඩුවක් වගේ. උසස් පෙළ විෂය නිර්දේශයත්, ජංගම දුරකථනයත්, ප්‍රේම සම්බන්ධයත් එකට පැවතිය යුතු දෙයක් ලෙස ළමා මනස ගොඩනැගිලා. නමුත් කවුරුවත් එය නිවරැදි කරන්න මැදිහත් ;වන්නේ නැහැ.

රටේ තිබෙන දණ්ඩ නීති සංග්‍රහය යටතේ ප්‍රේමවන්තයෙක් ප්‍රේමවන්තියක් ලෙස හමුවිය හැකි වයස් සීමාව කිසිම ළමයෙක් දන්නේ නැහැ. අඩු වයසින් නොගැළපෙන අයුරින් හැසිරුණු ළමයෙක් අත්අඩංගුවට ගතහොත් ඒ ළමයාට ලබා දෙන දඬුවම පිළිබඳ ළමයි දන්නේ නැහැ. එසේ නම් මේ කරුණු පිළිබඳ ළමයින් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයක් අද තිබෙනවා. ළමයින් සම්බන්ධතා ගොඩනඟා ගන්නේ මේ නොදැනුවත් බව නිසයි. ඒ වගේම එදා වගේ නොවෙයි අද එම සම්බන්ධතා පරිණත වෙන්න වැඩි කාලයක් ගතවෙන්නෙත් නැහැ. සම්බන්ධතාවය ගොඩ නඟාගෙන සති දෙකක් යනකොට ඔවුන් එක්තැන් වෙන්න තරම් සමීපවෙලා.

l අපේ ළමා පරපුර මෙවැනි ක්‍රියාවලින් මුදවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

ළමයා මේ සම්බන්ධතා ගොඩනඟා ගන්නේ අවබෝධයෙන් නොවෙයි. පත්විය හැකි අනතුර දන්නේ නැහැ. අම්මට, තාත්තට, සමාජයට මුහුණ - දෙන්න බැරිව සියදිවි නසා ගන්නේ මෙවැනි ඉරණම්වලට මුහුණ දුන් දරුවන්, ඒ වගේම ඇතැම් දරුවන් මානසික රෝගීන් වෙනවා. මෙහිදී සමාජයටත් විශාල වගකීමක් පැවරෙනවා. ළමයාගේ ජීවිත විනාශවෙන්න දෙනවද? නීතිය මඟින් වුවත් කළ යුත්තේ විය යුත්තේ එයද? එතනින් එහාට එය තේරුම් අරගෙන නැවත මේ සමාජයේ ජීවත්වෙන්නට ඉඩ සලසා දෙන්න ඕන. ළමයින් වැරදි කළාට කමක් නැහැ කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. අද පුවත්පත් ඇතුළු මාධ්‍යවල බොහෝ විට අසන්නට දකින්නට ලැබෙන්නේ මේවායේ අවසන් ඵලය. ඒවා දැක්කහම හිතෙන්නේ මේ රට විනාශ වුණු රටක් කියලයි.

l නමුත් මෙහිදී බොහෝ දෙනා චෝදනා කරන්නේ ළමයින්ට පමණයි නේද?

අපේ සමාජයේ අයහපතට යොමුවූ දරුවන් වගේම විශ්වාස කළ නොහැකි තරම් සංවරශීලී, ගෞරවනීය ලෙස දිවි පැවත්ම සකස් කරගත් දරුවනුත් ඉන්නවා. නමුත් බොහෝ දෙනෙක් කියන්නේ දැන් හැදෙන ළමයි ගන්න දෙයක් නැහැ කියලයි. නමුත් ළමයි කරන වැරැදි සහ වැඩිහිටියන් කරන වැරදි ගතහොත් වැඩිම වැරදි කරන්නේ වැඩිහිටියෝ.

ළමයි කරන වැරදි අතර මිනීමැරුම්, සාහසික ම්ලේච්ඡ අපරාධ, ස්ත්‍රී දූෂණ දේශපාලන පළිගැනීම් නැහැ. මේ සාහසික දරුණු අපරාධ කරන්නේ වැඩිහිටියෝ. මේ ලෝකේ විනාශ වෙලා තිබෙන්නේ ළමයින්ගේ ලෝකය නොවෙයි. වැඩිහිටියන්ගේ ලෝකයයි. ඒනිසා වැඩිහිටියන්ගේ ලෝකය යහපත් කිරීමටත් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. තමන්ව ආදර්ශයට අරගෙන හැදෙන්න කියලා දරුවාට කියන්න තරම් ආත්ම ශක්තියක් දෙමාපියන්ට නැහැ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා