තුරඟ තරග පිටියේ ඉදිවූ සුපිරි වෙළෙඳ සංකීර්ණය

සුපිරි රටක් සුපිරි නගරයක්

තුරඟ තරග පිටියේ ඉදිවූ සුපිරි වෙළෙඳ සංකීර්ණය

කොළඹ කුරුඳුවත්ත තුරඟ තරග පිටියේ ආරම්භ කිරීමට යෝජිත සුපිරි වෙළඳසල හා සුපිරි අවන්හල් සහිත ව්‍යාපාරික ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

රුපියල් ලක්‍ෂ එකසිය විසිපහක පිරිවැයක් දරා රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මඟින් එහි ඉදිකිරීම් කටයුතු නිම කිරීමට පියවර ගෙන ඇත.

මේ වාණිජ පරිශ්‍රය ලබන 20දා රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පැවරේ.

තුරඟ තරග පිටියේ තිබුණු පැරැණි ප්‍රේක්ෂකාගාර දෙකක් සංරක්ෂණය කර සංවර්ධනය කිරීමෙන් වාණිජ වටිනාකමකින් යුතු මේ සුපිරි වෙළෙඳ ස්ථානය ඉදිකිරීමට පියවර ගත් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මේ ගොඩනැඟිල්ලේ පෞරාණික බව රැක ගනිමින් නවීනත්වයට ගැලපෙන ලෙස වාස්තු විද්‍යාත්මක උපදේශන ලබාගනිමින් මනාව සංවර්ධනය කර ඇත.

යටත් විජිත සමයේ විනෝදාස්වාදය සඳහා මේ පිටියේ තුරඟ තරග පැවැත්වීම වර්ෂ 1800 දී පමණ ආරම්භ විය.

“සිලෝන් ටර්ෆ්” ක්ලබ් නමින් ආරම්භ කෙරුණු තුරඟ තරග පිටිය නිල වශයෙන් තුරඟ තරග සඳහා විවෘත වූයේ වර්ෂ 1893 ජුනි 23 දා ය. එකල ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි වූ එය පසුව දෙවැනි ලෝක යුද සමයේ තාවකාලිකව රාජකීය ගුවන් හමුදා බාරයට ගැනිණි.

පසු කාලීනව කඳවුර එයින් ඉවත් කරගත් අතර 1958 වසරෙන් පසු එම පිටියේ විවිධ රාජ්‍ය උත්සව පවත්වන ලදී.

ප්‍රේක්ෂකාගාරය ආශ්‍රිත පරිශ්‍රය ජාතික පොළ හා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශන සඳහා යොදා ගැනුණ ද පසුගිය වකවානුවේ මේ ගොඩනැගිලි සංකීර්ණය කිසිදු කටයුත්තකට යොදා නොගැනිණි.

මෙසේ අභාවයට යමින් තිබූ ප්‍රේක්ෂකාගාර ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ආරක්‍ෂක ලේකම්වරයා පියවර ගන්නා ලදී.

සුපිරි නගරයක්, සුපිරි රටක් තුළින් තිරසාර ආර්ථිකයක් කරා ගමන් කිරීමේ දී අවශ්‍ය වන ප්‍රධාන සාධකය වන සංවර්ධනය හා ඵලදායීතාවය මුල්කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරයේ මෙවැනි සංවර්ධන සැලසුම් රැසක් ආරම්භ කර ඇත. මෙය යථාර්ථයක් බවට පත් කරමින් ව්‍යාපාරික ප්‍රජාව නව තාක්ෂණික විප්ලවයකට පිවිස ඇත. ඊට සරිලන ලෙස වර්තමානයේ කොළඹ නගරය මෙන් ම අනෙකුත් නාගරික සංවර්ධන කටයුතු ද මනාව සැලසුම් කර තිබේ.

ගෝලීය නගර රටාව ට සමගාමීව පෞරාණික බව ද රැක ගනිමින් මෙම නවීකරණ ක්‍රියාවලිය සිදු කෙරෙන බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ මස 20 දා විවෘත වන කොළඹ තුරඟ තරග පිටිය පරිශ්‍රයේ ඉදි වූ සුපිරි වෙළෙඳ සංකීර්ණය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා ගේ ප්‍රධානත්වයෙන් එම අධිකාරිය මඟින් වාස්තු විද්‍යාත්මක උපදේශන ලබාදීමත් අධීක්‍ෂණ කටයුතු කිරීමත් සිදු කෙරිණි.

රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ් පූර්ණ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ මේ කටයුත්ත සිදු කළ අතර කොළඹ නගරයේ අනෙකුත් ව්‍යාපෘති මෙන් ම ක්‍රීඩා පිටි, ක්‍රීඩාගාර, වාණිජ හා විනෝදාංශ ව්‍යාපෘති ලෙස සංවර්ධනය කිරීම අරඹා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා