කෘතහස්ත කලාකරු හෙන්රි ජයසේන දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

කලා ක්ෂේත්‍රය පෝෂණය කිරීමෙහිලා අනූපමේය මෙහෙයක් කළ

කෘතහස්ත කලාකරු හෙන්රි ජයසේන

ආචාර්ය හෙන්රි ජයසේන අභාවයට පත්වී පෙරේදාට (11) වසර තුනක් සපිරේ. මෙම සටහන ඒ නිමිත්තෙනි

කලා කෘතියක් යනු කුමක්ද යන්නට මහගමසේකර විද්වතාණන් සපයා ඇති නිර්වචනය වන්නේ තමා ලද කිසියම් අත්දැකීමක් හෝ වින්දනයක් සඳහා ඉන්ද්‍රීය ගෝචර හැඩයක් එනම් ආකෘතියක් ලබාදී එය ප්‍රතිනිර්මාණය කිරීමක් යනුවෙනි.

මෙම කාර්යය සංගීතඥයකු විසින් ස්වර, නාද නිර්මිත, ලය, තාල ආදිය ඇසුරු කරමින්, ප්‍රතිනිර්මාණය කරයි. එසේම චිත්‍ර ශිල්පියෙකු වර්ණ, රේඛා, හැඩතල සහ අවකාශය භාවිතා කරමින්, චිත්‍රයක් ලෙස ප්‍රතිනිර්මාණය කරයි. ගීතය, කවිය, නවකතාව, කෙටිකතාව,නාට්‍ය සහ චිත්‍රපටය ආදී ප්‍රසාංගික නිර්මාණ ද භාෂාව සහ සිවු අභිනය ආදිය උපයෝගී කර ගනිමින් ප්‍රතිනිර්මාණය කරයි. ප්‍රසාංගික නිර්මාණ වලදී ඊටම අදාළ අනන්‍ය සහ අවියෝජනීය අගය හා ආකෘතිමය විශේෂතා පවතී. මේ සියලු නිර්මාණ සඳහා ප්‍රතිභානය, ව්‍යුප්පතිය, පරිකල්පනය, සතථාභ්‍යාසය, රසඤතාව සහ ප්‍රතිනිර්මාණ හැකියාව අවශ්‍ය වේ.

සම්භාව්‍ය නිර්මාණ

ශ්‍රී ලංකාවේ නාට්‍ය ක්ෂේත්‍රයේ යුග පුරුෂයන් ගැන සඳහන් කිරීමේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා,සයිමන් නවගත්තේගම සහ දයානන්ද ගුණවර්ධන වැනි ස්වර්ණමය නාමයන් අතර, ආචාර්ය හෙන්රි ජයසේනයන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ආචාර්ය හෙන්රි ජයසේන තුළ පැවති කෘතහස්ත සහ සම්භාව්‍ය නිර්මාණ කෞශල්‍ය සිංහල නාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රය ගුණාත්මක බවින් පෝෂණය කිරීම සඳහා සිදු වූ සුවිශාල දායකත්වය අඩසියවසක් පුරා පැවතුණි.

ශ්‍රී ලංකාවේ සිංහල නාට්‍ය සම්ප්‍රදායන් හා ශෛලීන් නව මගකට හා නවතම පුස්තක හා හෙන්රි ජයසේනයන්ගෙන් විවිධ තේමාවන්ද ඔස්සේද විෂම සන්දර්භයන් හා විශේෂ ප්‍රවණතා රැසක් දැක්වූ නාට්‍ය නිර්මාණ ශිල්පීන් අතරින්, ආචාර්ය හෙන්රි ජයසේනයන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අඩ සියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකික කලා කෙත පෝෂණය කිරීමෙහිලා මෙන්ම කලා ක්ෂේත්‍රයේ නවතම උන්නතීන් සඳහා ද ආචාර්ය හෙන්රි ජයසේන සිදු කළ මෙහෙවර සහ දායකත්වය අමරණීය වේ. 1950 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ ගම් පෙරළිය නව කතාව, මනමේ නාට්‍ය සහ රේඛාව චිත්‍රපටය මෙරට ප්‍රසාංගික ක්ෂේත්‍රයේ සිදු වූ විශේෂ ප්‍රවණතාවක් දක්වන කඩඉම් සහ සන්ධිස්ථානයක් සටහන් කළ සුවිශේෂී නිර්මාණ තුනකි. එම නිර්මාණ එකල සමාජයේ සිදු වූ පුනරාලෝකයේ ගතික ස්වරූපය පෙන්වයි. එය ප්‍රගතිශීලී ප්‍රවණතාවක හා ජාතික පුනර්ජීවය පෙන්නුම් කළ කැඩපත් බඳු විය.

සිංහල නාට්‍ය

නාට්‍ය රචකයෙකු. නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, නළුවෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, ප්‍රබන්ධ රචකයෙකු, විචාරකයෙකු පමණක් නොව රසිකයෙකු ලෙස ප්‍රතිභා සම්පන්න වූ ආචර්ය හෙන්රි ජයසේන තම නිර්මාණවලදී ස්වතන්ත්‍ර බවත් පෙන්නුම් කළේ ය. සිංහල නාට්‍ය ක්ෂ්ත්‍රයේ පුරෝගාමීව පෙර ගමන්කරුවෙකු වූ ආචාර්ය හෙන්රි ජයසේන ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහල නාට්‍ය ක්ෂේත්‍රයට සිදු කළ අනුපමේය සේවයට සමාන කාර්ය භාරයක් සිදු කර ඇත.

විචාරක කලාව

1931 ජූලි මස 06 වෙනි දින ගම්පහ බැන්ඩියමුල්ල ගමේදී ජන්ම ලාභය ලද මෙතුමාගේ පියතුමන් වූයේ බස්තියන් කෝරලගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන මහතාය. මව වූයේ නවගමුවේ සිසිලියා පෙරේරා මහත්මියයි.

තම නිවසේදීම මූලික අධ්‍යාපන කටයුතු ආරම්භ කළ අතර, එතුමාගේ මුල්ම නම වූයේ චන්ද්‍රසෝමයි. සිරි අයියා හෙවත් යූ.ඒ.එස්.පෙරේරා මහතාගේ ළමා පිටිය වැඩසටහනින් ළමා ගායකයෙක් ලෙස කලා ලොවට පිය නගමින් එහි අත්පොත් තැබූ ආචාර්ය හෙන්රි ජයසේන පසුව ගම්පහ බැන්ඩියමුල්ල රෝමානු කතෝලික ප්‍රාථමික පාසලෙන් හා කොළඹ ලෝරන්ස් විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආචාර්යවරයෙකුව සිටි සිරි අයියා හෙවත් යූ.ඒ.එස්. පෙරේරා මහතා විසින් 1947 දී පමණ නිෂ්පාදනය කරන ලද හරිස්චන්ද්‍ර නාට්‍යයෙන් නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය.

1949 වසරේදී ලිපිකරු තනතුරට පත්වෙන අප කතානායකයන් ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසද ජාතික තරුණ සේවා සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැඩසටහන්) ලෙසින්ද කටයුතු කර ඇත. ආචාර්ය හෙන්රි ජයසේනයන් 1962 වර්ෂයේදී “කරලියේ පිපි මානෙල් මල” ලෙස විරුදාවලිය ලද මානෙල් ජයසේන මහත්මිය සමඟ විවාහ දිවියට පිවිසීය.

1978 සැප්තැම්බර් 15 වෙනි දින ටවර්හෝල් රඟහල යළි විවෘත කිරීමේ අවස්ථාව සඳහා නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ සිරිසඟබෝ නෘත්‍ය පිටපත යළි නිෂ්පාදනය කිරීමත් 1983 පෙබරවාරි 4 වෙනි දින නිදහස් උළෙල සඳහා නිර්මාණය කරන ලද ජයතු ලංකා නිර්මාණයත්, ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ කෘතහස්ත නිර්මාණ හැකියාව පෙන්නුම් කළේය. ඔහුටම ආවේනික හා අනන්‍ය ලක්ෂණයන් ඔහුගේ නිර්මාණයන් සම්භාව්‍ය තත්ත්වයට ගෙනඒමට සමත් විය.

1967 වර්ෂයේදී පරිවර්තනයක් ලෙස නිර්මාණය කරන ලද හුණුවටය නාට්‍ය ව්‍යක්ත සහ විචාරක විද්වතුන්ගේ මෙන්ම විශ්වවිද්‍යාල, සහ පාසල් ආදී විද්‍යාර්ථයන්ගේද අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලද සම්භාවනාවට හා ජනප්‍රියතාවට සහ විෂයය නිර්දේශයන්ට ඇතුළත් විය. මෙහි මුල් නිර්මාණය ජර්මන් ජාතික මහා නාට්‍යකරුවෙකු වන බර්ටෝල්ට්බ්‍රෙස්ට් ගේ ද කොකේසියන් චෝක් සර්කල් නම් නාට්‍යයි. 1972 වර්ෂයේදී දිරිය මව සහ ඇගේ දරුවෝ නම් වූ නාට්‍ය නිෂ්පාදනයේ දී හෙන්රි ජයසේන පාදක කරගන්නේ බර්ටෝල් බ්‍රෙස්ට්ගේ නාට්‍යයකි.

ආචාර්ය හෙන්රි ජයසේන විසින් රචිත මුද්‍රිත පොත්පත් හා ශාස්ත්‍රීය ලිපි ලේඛන අතර, 1981 නාට්‍ය නිෂ්පාදනය, 1991 දෙව්ලොව ගිය ශිෂ්‍ය භටයෝ, 1997 පුංචි පලිගුරෑන සහ 1972 ළමා සාහිත්‍ය ලෙස රචිත හිතට හිතෙන කවි සුවිශේෂී නිර්මාණයන්ය. 1965 වර්ෂයේ මිනිසුන් වූ දරුවෝ සහ 2005 ලියූ නිළියකගේ කතාවක් යන නව කතා දෙකත් හුණුවටය කතාව, ජනේලය, කුවේණී, තවත් උදෑසනක්, ආදී ශාස්ත්‍රීය ග්‍රන්ථයන්ය. ඔහු විසින් රචිත චරිතාපදාන අතර, කරලිය කතාවක්, නිම් නැති කතාවක් ආදිය සඳහන් කළ හැකිය.

1959 ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය රචනා තරගයෙන් ප්‍රථමස්ථානයද 1963 දී ශෛලීගත අංශයේ හොඳම නාට්‍ය රචනයටද ශෛලීගත හොඳම නාට්‍ය අධ්‍යක්ෂණයටද සම්මාන ලැබීය.

1988 වර්ෂයේදී ශ්‍රී ලංකා ජනරජයෙන් පිරිනමන ලද කලාශූරී සම්මානයත් 1998 වර්ෂයේදී ජපන් පදනම මගින් පිරිනමන ලද බුන්කා සම්මානයත් එතුමාට හිමි විය. 2004 වර්ෂයේදී කලා කීර්ති සම්මානය හිමි කරගත් අතර, 2006 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් ආචාර්ය හෙන්රි ජයසේනට සම්මාන ආචාර්ය උපාධිය පිරිනමන ලදී.

ප්‍රතිභාපූර්ණ

ආචාර්ය හෙන්රි ජයසේනයන්ගෙන් සිංහල සිනමාවට හා චිත්‍රපටයට සිදු වූ මෙහෙය සහ දායකත්වය අතිවිශාලය.

1959 ශ්‍රී 296, 1959 දී ගැහැනු ගැට, 1963 මේ දෑස කුමටද, 1964 දී ගම්පෙරළිය, 1977 මරුවා සමඟ වාසේ, 1979 පළගැටියෝ සහ හඳයා, 1980 ගඟ අද්දර සහ හංසවිලක්, 1981 බැද්දේගම සහ සොල්දාදු උන්නැහේ ආදී චිත්‍රපට හෙන්රි ජයසේනයන්ගේ ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වයට කදිම නිදසුන් වේ.

ඔහු සතුව පැවති ප්‍රතිභාපූර්ණ රංගන කුසලතාව, ගම්පෙරළිය කතාවේ පියල්ගේ චරිතය සහ දූදරුවෝ ටෙලි නාට්‍යයේ සුදුසීයාගේ චරිතයත් ප්‍රමාණවත් නිදසුන් ය.

නාට්‍ය ශිල්පියෙකු, නළුවෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, විචාරකයෙකු, ප්‍රබන්ධ රචකයෙකු පමණක් නොව සහෘද රසිකයෙකු ලෙසද ශ්‍රී ලංකාවේ නාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රය පෝෂණයෙහිලා අනුපමේය මෙහෙයක් හා සදා අනුස්මරණීය දායකත්වයක් දක්වමින් කෘතහස්ත කලාකරුවෙකු ලෙස යුග පුරුෂයකු වූ ආචාර්ය හෙන්රි ජයසේනයන් 2009.11.11 දින දැයෙන් සමුගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා