අලුත් යමක් ගැන හිතන රෙජිනෝල්ඩ් කුරේ දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

අලුත් යමක් ගැන හිතන රෙජිනෝල්ඩ් කුරේ

තමන් අතට පොල් කෙන්දක් දුන්නත් එය යගදාවක් බවට පත්කර ගන්නා දේශපාලනඥයින් අතර රෙජිනෝල්ඩ් කුරේ මහතාට හිමිවන්නේ සුවිශේෂී තැනකි. දුන් දෙය මදිය, කුඩාය, වැඩක් නැතය. මොකුත් කරන්න බැරිය යන අසුබවාදී සිතුවිල්ලේ නොසිට ලැබුණු දෙයින් මහත් විශාල දෙයක් කරන්නට තරම් ශක්තියක් ඇති ධෛර්යවන්ත නායකයෙකු ලෙස නිර්භයව රෙජිනෝල්ඩ් කුරේ මහතා හැඳින්විය හැක.

ඒ අනුව තමන්ට ලැබුණු සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය මඟින් විශාල ගමනක් යෑමට වැඩ ආරම්භ කර ඇති රෙජිනෝල්ඩ් කුරේ මහතා වසරක් තරම් කෙටි කාලයකදී තම අමාත්‍යාංශයේ ඉදිරි ගමන ශක්තිමත්ව සම්පාදනය කර ඇති බව කිව යුතුමය.

දේශීය දළ ජාතික ආදායමට සෘජුව යම් ප්‍රමාණයක ආදායමක් ලබා දෙන කුරුඳු, ගම්මිරිස්, එනසාල් වැනි සුළු අපනයන භෝග වගාකරුවන්ට හා අපනයනකරුවන්ට යම් දර්ශනයක් ඇතිව වැඩ කිරීමට හා ඉලක්කගත වැඩපිළිවෙළකට ඔවුන්ව නැඹුරු කිරීමට රෙජිනෝල්ඩ් කුරේ මහතා සමත් වී ඇති බව එම අමාත්‍යාංශයේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව හැදෑරීමේදී පෙනී යයි.

කුඩා කල සිටම පිළිවෙළකට හා ඉලක්කයකට යම් දෙයක් කිරීමේ පුරුද්ද ප්‍රගුණ කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා සුවිශේෂි හැකියාවන් රාශියක් ඇතිව උපන් විරල ගනයේ මිනිසෙකි. විටෙක ප්‍රබුද්ධ දේශපාලනඥයකු වන ඒ මහතා තවත් විටෙක කලාකරුවකු, ගීත රචකයකු මෙන්ම සිත් ඇද බැඳ ගන්නා දේශපාලන විචාරකයෙකු ලෙසද කටයුතු කරයි.

හැමදාමත් කියන ලෙස ඒ මහතාට රූපවාහිනිය, ගුවන් විදුලිය හා පුවත්පත අමුතු තැනක් ලෙස නොපෙනේ. ඒ කොයි තැනකදී වූවත් තව කෙනෙකුට නොදෙවෙනි හා නොපරදින මතයක් හෝ විචාරයක් කිරීමට තරම් ඒ මහතා සුවිශේෂී පුද්ගලයෙකි. යම් ප්‍රශ්නයක් ගැටලුවක් දෙස උඩින් අතපත ගා බලන්නේ නැතිව පතුලටම කිඳා බැස ඒ ප්‍රශ්නය හා ගැටලුව ගැන විචාර බුද්ධියක් ඇතිව කටයුතු කරන ඒ මහතා ඉදිරියේ නිලධාරින් ආවාට ගියාට උත්තර නොදෙන බව අප දීර්ඝ කාලයක සිට දන්නා දෙයකි.

දේශපාලනය කරන කලාකරුවන්ට පුළුල් ආදර්ශයක් ලබා දෙමින් මෑත ඉතිහාසයේ වඩාත් ජනප්‍රිය වු නවකතාවක් වූ “ගුරු ගීතය” ඇසුරෙන් විචිත්‍රවත් ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්නට තරම් රෙජිනෝල්ඩ් කුරේ මහතා නැඹුරු වූයේ කලාව කෙරෙහි ඇති ගැඹුරු දර්ශනය නිසාම යැයි මට සිතේ. ඒකාකාරී ටෙලි නාට්‍ය සම්ප්‍රදායෙන් බැහැරව සිතා ගම, පරිසරය, පිටිසරකම හා දර්ශනිය රූපරාමු ඇතුළත් කොට ටෙලි නාට්‍යයක් නිර්මාණය කිරීම වඩාත් කාලෝචිත යැයි සිතා නිෂ්පාදනය කළ “සැරද බඹගුරු” ටෙලි නාට්‍ය තුළින් රෙජිනෝල්ඩ් කුරේ මහතා ගැන ඉදිරියේදී රටේ ජනතාව හා රූපවාහිනි ප්‍රේක්ෂකයන් කතා කරනු නිසැකය.

දර්ශනීය රූපරාමු සහිත ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරමින් ඊට බර පැන යොදමින් විශේෂයෙන්ම එහි එවැනි ප්‍රධාන චරිතය නිරූපණය කරමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා දේශපාලන භූමිකාවෙන් ඔබ්බට පැන අලුත් යමක් කර ඇතැයිද මට සිතේ. මෙහිදී වැදගත් වන්නේ මේ සියලුම කලා කටයුතුවල නිරත වෙමින් සිටියදී තම අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලට බිඳකුදු හානියක් නොවන සේ රෙජිනෝල්ඩ් කුරේ මහතා කටයුතු කර ඇති බවය. ඒ සඳහා ක්‍රමවත්ව වැඩ කර ඇති බවයි.

තමන් භාරයේ ඇති අමාත්‍යාංශය වෙනුවෙන් සතිපතා අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෑමටත් පාර්ලිමේන්තු රැස්වීම්වලට යෑමටත් ප්‍රමුඛත්වය දී කටයුතු කරන ඒ මහතා දිවයින පුරා විසිරී සිටින අපනයන භෝග වගාකරුවන් හා එම භෝග ආශ්‍රිත අපනයනකරුවන් හමු වී තිරසාර වැඩපිළිවෙළක් සැකසීම සඳහා දිවයිනේ් සියලු දිස්ත්‍රික්ක කරා මේ වනවිටත් ගමන් කර ඇති බවත් මෙහිදී සතුටින් සඳහන් කළ යුතුමය. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක වැඩි ප්‍රමාණයක වැඩමුළු හා නව දැක්මක් සහිත අපනයන භෝග වගාකරුවන්ගේ හා එම භෝග අපනයනකරුවන්ගේ ගැටලු හා ප්‍රශ්න නිරාකරණය කිරීම උදෙසා “කුළුබඩු සායන” වැඩපිළිවෙළ දැනට නුවර, ගාල්ල, දිස්ත්‍රික්කවල පවත්වා අවසානය.

ඇතැම් දේශපාලනඥයින් ආරක්ෂක වාහන හා ආරක්ෂක නිලධාරින් සමඟ රංචු පිටින් ගම් දනව්වල සැරි සරද්දී රෙජිනෝල්ඩ් කුරේ මහතා තනිවම නිල රථය පදවාගෙන හෝ එසේ නොමැති නම් රියදුරු සමඟ එකදු ආරක්ෂකයකු හෝ පරිවාර රථ නොමැතිව මහජනයාට කරදරයක් නොමැතිව ගමන් කිරීම බෙහෙවින් අගය කළ යුතුමය. අවි ආයුධ සහිතව දැසි දෑස්සන් පිරිවරාගෙන යෑම එතුමා බැහැර කරන්නේ පිළිකුලකින් යුතුවමය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා