භාෂා ශික්‍ෂණයේ උපරිම මූර්තිය කුමාරතුංග මුනිදාස දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

භාෂා ශික්‍ෂණයේ උපරිම මූර්තිය කුමාරතුංග මුනිදාස

සරල බැල්මකින්, කුමාරතුංග මුනිදාස විශිෂ්ටයාණන් ගේ චරිත වර්ධනය දෙස ඇස යොමුකරන ඇතැම් ඉක්මන් නිරීක්‍ෂකයෝ, ඒ විද්වතා “භාෂා විප්ලව කාරයෙකු” සේ නම් කරන්නට යුහුසුලු වෙති. මෙය කුමාරතුංග මුනිදාස පිළිවෙත තරමක් සාවද්‍ය ලෙස අවධානයට ලක් කිරීමකි.

අප දේශයේ භාෂා උරුමය ගැන හරි හැටි සිතනු පිණිස, මේ රට ප්‍රබුද්ධ ලෙස අවදි කරන්නට දිවි පෙවෙත පුරා වෙහෙස වූ විද්වතුන් අතර අවිවාදයෙන්ම පුරෝගාමි වන්නේ කුමාරතුංග මුනිදාස පඬිවරයා යි.

සෙසු බොහෝ ප්‍රඥාවන්තයෝ පොත-පත ලියා දේ්ශන පවත්වා ජනතාවගේ දැනුම පෝෂණය කිරීමෙන් තෘප්තිමත් වූහ. එහෙත්, කුමාරතුංග මුනිදාස භාෂා ප්‍රභූවරයා, යහපත් බස් වහර සඳහා ජනතාව මෙහෙයවීමේ සත්කාර්යය, පෘථුල ජාතික ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළේ ය.

කුමාරතුංග මුනිදාස ජීවන ප්‍රවාහයේ හරය නම්, ශික්‍ෂණයයි. උපත ලද තන්හි පටන්ම, ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ ක්‍රියාදාමය විසින් ජීවනය ලබන ලද්දේ “ශික්‍ෂණය” මගිනි. ශික්‍ෂණය ඔහු ගේ ජීව වායුව වූයේ ය.

ඔහු උපත ලැබුවේ රුහුණේ දික්වැල්ලේ ඉඳිගස් ආර ගම්මානයේ යි. ආයුර්වේද වෛද්‍යවරයෙකු වූ එතුමාණන් ගේ පියා ඒ ගම්මානයේ ප්‍රධාන තැනක් ලැබ සිටි පුද්ගලයෙකි. අබියෙස් කුමාරණතුංග නම් වූ පියාණන් දෑත්, පලවින්නගේ දෝනා ගිමාරා මුතුකුමාරණ නම් වූ මෑණියන් දෑත්, දරුවන් දහතුන් දෙනෙකු සහිත පවුලේ ප්‍රධානියා වූහ. කුමාරතුංග මුනිදාස ඒ පවුලේ දොළොස් වැන්නා වී උපත ලැබුවේ ය.

හෙළ හවුල

කුඩා කල පටන්ම, ඔහු වැඩුණේ ශික්‍ෂණයට මුල්තැන දෙන පවුල් පසුබිමක යි. හැදුණුකම, හික්මීම, ගෞරවනීය ලෙස දිවි පෙවෙත සකස් කොට ගැනීම, කුමාරතුංග පවුලේ දින රටාවේ මුඛ්‍ය ආවේගය වූයේ ය. එය පියාණන් දෑගේ අචල පාලනයේ ප්‍රතිඵලයක් විය හැකිය.

කුඩා කුමාරතුංග මුනිදාස දරුවා ගේ ජීවිතයට ශික්‍ෂණය අරක් ගත් ආකාරය දක්වන සිද්ධියක් ඔහු ගේ ළමා සමයේ දී උද්ගත වූයේ ය.

මහණ විය යුතු යැයිද, ගිහි ජීවිතය අතැර දමා පැවිදි බිමට එළැඹිය යුතු යැයි ද කියන අධිෂ්ඨානය කුඩා මුනිදාස දරුවා තුළ පහළ වූයේ ය. මා දක්නා ආකාරයට, කුමාරතුංග මුනිදාස ජීවිතයේ මුඛ්‍ය ලක්‍ෂණය වන “ශික්‍ෂණය” ප්‍රකට කළ මුල්ම ප්‍රබල සිද්ධිය එය යි.

පවුලේ අකමැත්ත මැද ඒ පැවිදි ශික්‍ෂණය ලැබීමේ අදහස අත්හළ කුමාරතුංග මුනිදාස දරුවා, මුල් කාලයේ පටන්ම භාෂා ශාස්ත්‍රීය මෙහෙයේ දී “ශික්‍ෂණයට, ගරු තැනක් ආරෝපණය කළේ ය. මෙයට ප්‍රබල නිදර්ශනයක් සැපයෙන්නේ, කුමාරතුංග මුනිදාස තරුණයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රථම ප්‍රකාශනයෙන්ම යි. පාසල් සමයේ දී ඒ දරුවා විසින් කරන ලද ඒ ග්‍රන්ථයේ නම: “නිකාය සංග්‍රහය විවරණය.” එයද, ශික්‍ෂණය හරය කොට ගත් පොතකි.

කුමාරතුංග මුනිදාස තරුණයා, අනු ක්‍රමයෙන් ප්‍රඥාවෙන්, ග්‍රන්ථ ඥානයෙන් හා විචාර බුද්ධියෙන් මුහුකුරා යන විට, ඒ යොවුන් වියතා තුළ එදා රටේ පැවති භාෂා ව්‍යවහාරයේ අඩු-පාඩු ගැන දැඩි කම්පනයක් හට ගත්තේ ය.

එතැන් පටන්, කොයි ආකාරයෙක වෘත්තියක යෙදුන ද, හෙතෙම භාෂාවේ ශික්‍ෂණය රැක ගැනීමේ ව්‍යායාමය, තමා ගේ මූලික ජීවන පරමාර්ථය කොට ගත්තේ ය.

අපගේ අසහාය ජාතික උරුමය වන සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථ, මතුපිටින් පමණක් ස්පර්ශ කොට රස විඳීමේ ගතියට ඇබ්බැහි වූ රසිකයන් ට, ඒ මහා නිර්මාණ සතු අගය ශික්‍ෂණයෙන් යුතුව හදාරන්නට මං පාදා දෙමින් කුමාරතුංග මුනිදාස පඬිවරයා විසින් කරන ලද විවරණ පොත් පෙළ, මේ රටේ සාහිත්‍යකාමී බහුතරයක ගේ ගැඹුරු ආස්වාදයට මහඟු උපකාරයක් විය.

භාෂා ශික්‍ෂණය

කුඩා කල පටන්ම ශික්‍ෂණයෙන් යුක්තව භාෂා රසය අත්විඳින්නට දරුවන්ට අත්වැලක් සැපයූ කුමාරතුංග මුනිදාසයන් ගේ “ශික්‍ෂා මාර්ගය” නම් පාසල් පාඩම් පොත් පද්ධතියත්, ඒ ගරු ගුරුතුමා තුළ පැවති ශික්‍ෂණයට ප්‍රබල සාධකයකි. පොත් පෙළේ නම සළකා බලන්න: ශික්‍ෂා මාර්ගය. “ශික්‍ෂණය” කුමාරතුංග මුනිදාස චරිතාපදානයේ මුඛ්‍ය ලක්‍ෂණය වී යැයි මවිසින් ඉදිරිපත් කෙරෙන මතයට මෙයද ව්‍යක්ත නිදසුනකි. මෙය විප්ලවීය සම්ප්‍රදායට හාත් පසින්ම වෙනස් ය. විප්ලවකාරී නායකයෝ, සිය බලය ස්ථාවර කොට ගන්නා පිණිස, තමන් ගේ ශ්‍රාවකයන් පුද්ගලාභිමානයට යොමු කරති. ඔවුන් ගේ නම ස්ථාවරව නොවෙනස්ව තබා ගැනීම විප්ලවීය පුද්ගලාභිවාදනයට අත්‍යවශ්‍ය ය.

කුමාරතුංග මුනිදාස විද්වතා තුළ සම්මත විප්ලවීය අභිප්‍රායයන් නොවීය. ඔහුට ජවය සැපයූ එකම ආවේගය “ශික්‍ෂණය” යි. ‘හෙළ හවුල’ ඒ ශික්‍ෂණයේ වාහකයා විය. පසු කලෙක මේ විද්වතා ආක්‍රමණශීලී ශෛලියකට යොමු වීම, එතරම් ප්‍රශස්ත ලෙස බොහෝ දෙනාට නොපෙනුයේ ය. එහෙත් එය ද අත්‍යයත ශික්‍ෂණයේම එක් අංශයකි.

හෙළ හවුලේ ප්‍රබලතම ශාඛාවක් ඉතා ක්‍රියාශීලී ලෙස පිහිටා සිටියේ අපේ ගම වන උණවටුනේ ය. අරිසෙන් අහුබුදු, අනඳපිය කුඩාතිහි වැන්නෝ ඉන් බිහි වූ පතාක යෝධයෝ ය. මම හෙළ හවුලට බැඳුණේ නැතත්, ඒ හෙළ හවුලේ බොහෝ දෙනාට වඩා දැඩි ආයාසයකින් මම කුමාරතුංග මුනිදාස නිර්මාණ හදාළෙමි. එයට, එක්තරා ප්‍රබල හේතුවක් තිබිණි. ඒ මඟින් හෙළ හවුලේ මගේ යහළුවන් හා සමඟ විචිත්‍ර ලෙස වාද-විවාද කළ හැකි වීම ය. එහෙත්, කුමාරතුංග මුනිදාස චරිතයේ ‘ශික්‍ෂණය’ මම එදත් ගරු- සරුවෙන් සැලකුවෙමි. අදත් එසේම ය. අතීතාවර්ජනයක යෙදෙමින් ඒ යුගය දෙස බලනවිට පැහැදිළිව ඉස්මතු වන කරුණක් නම්, කුමාරතුංග මුනිදාස ශික්‍ෂණ විලාශය, භාෂාව අන්තයටම පිරිහෙන්නට ඉඩ නොදුන් සවිමත් පවුරක් වූ බව යි.

භාෂාව හැසිරවීම

මෙයට දශකයකට පෙර, එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් කණ්ඩායමක් විසින් කරන ලද පර්යෙෂණයකින් අනාවරණය වූයේ, ලෝකයේ පවත්නා භාෂාවලින් හරි අඩක් 2050 හේ දී නැතිවී යාහැකි බවයි. මීට දශකයට පෙර ලෝකයේ තිබුණේ භාෂා 6000 කි. එදා සමීක්‍ෂණයට ලක්වූ ඇතැම් භාෂා ව්‍යවහාර කළේ ඇතැම් විට 50,000 ක් පමණ දෙනා විසිනි. 300 ක් දෙනා විසින් භාවිත කරන ලද භාෂා ද තිබිණි.

භාෂා ශික්‍ෂණයට, දෙස-බස-රැස යන ත්‍රිත්වය රැක ගැනීමට කැප වී සිටි කුමාරතුංග මුනිදාස විද්වතාණන් ගේ ජන්මයෙන් වසර 125 ක් වූ මේ කාලයේ දී එතුමා විසින් ප්‍රකට කරන ලද භාෂා ශික්‍ෂණය සජීවී වේගයක් බවට පත් කරන්නට අප විසින් ප්‍රයත්න දැරිය යුතු වේ.අද, සිංහල භාෂා ශික්‍ෂණයේ අවපාතයක ලකුණු පෙනෙන්නට තිබෙන හෙයින්, කුමාරතුංග මුනිදාස උපහාරයන් හි මුඛ්‍ය ලක්‍ෂණය විය යුත්තේ ඒ භාෂා ශික්‍ෂණය ජීවත් කරවීමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා