තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම් 7ම ඉල්ලා අස්කර ගනී

තේරීම් කාරක සභාවට එරෙහි පෙත්සම් 7ම ඉල්ලා අස්කර ගනී

රිට් පෙත්සම් ගාස්තු රහිතව නිශ්ප්‍රභ කරයි

NGO  නඩය පසුබසී

නව අගවිනිසුරුට නීති සංගමයේ සහාය

පෙත්සම් ඉදිරියට ගෙනියන්න බෑ

හිටපු අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය විමර්ශනය කිරීම සඳහා කථානායකවරයා විසින් පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව අධිකරණය වෙත යොමු කර තිබූ රිට් පෙත්සම් හතක් එම පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් විසින් ඊයේ (15දා) ඉල්ලා අස් කර ගන්නා ලදී. අධිකරණය වෙත මෙලෙස රිට් පෙත්සම් හතක් ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම් හතම ගාස්තු රහිතව අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරන ලදී.

මාදුළුවාවේ සෝභිත හිමි, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, විශාඛා පෙරේරා, තිලකරත්න, පරිසර භාරයෙහි තිලක් කාරියවසම් හා දූවගේ අශෝකා කාරියවසම් හරිස්චන්ද්‍ර යන අය මේ පෙත්සම් ඉදිරිපත් කළහ.

දෝෂාභියෝග ක්‍රියාවලියට එරෙහි ව නැඟී සිටි රාජ්‍ය නො වන සංවිධාන මේ අනුව තම කටයුතු පියවරකින් පස්සට ගෙන තිබේ. නීතිඥ සංගමය යම් සුබවාදී තැනෙක සිට කටයුතු කරන්නට පෙළැඹී සිටී. අගවිනිසුරුතුමිය සමඟ රජයට එරෙහි ව විරෝධතා දැක් වූ පිරිසෙන් බහුතරය නව අගවිනිසුරුවරයාට සහාය දැක්වීමට ද පටන්ගෙන තිබේ.

පෙත්සම්වලට පාදක වූ කරුණු සහ පෙත්සම්වලින් ඉල්ලා සිටි සහන සම්බන්ධ ක්‍රියාවලිය මේ වන විට අවසන්ව ඇත.

එබැවින් මේ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමෙන් ඵලක් නොමැති බැවින් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීමට අධිකරණයෙහි අවසරය ලබා දෙන ලදී.

අභියාචනාධිකරණයෙහි සභාපති විනිසුරු එස්. ස්කන්ධරාජා, අනිල් ගුණරත්න, ඒ. ඩබ්ලිව්. එම්. සලාම් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී. දෝෂාභියෝග ක්‍රියාවලිය පවත්වාගෙන යාමෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ කථානායකවරයා වළක්වාලන රිට් ආඥා නිකුත් කරන ලෙස පෙත්සම් මඟින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. කේ. කනග්ඊශ්වරන්, එස්.එල්. ගුණසේකර, අලගරත්න, සංජීව ජයවර්ධන, උදිත ඉගලහේවා යන ජනාධිපති නීතිඥවරු සහ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පෙත්සම්වරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක් ද සිල්වා සහ රජයේ නීතිඥ නෙරින් පුල්ලේ යන මහත්වරු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ. රටේ සෑම පුරවැසියකුගේම යහපත වෙනුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන බව නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ප්‍රකාශ කරයි.

අධිකරණ නිලධාරීන් විසින් තමාට ලබා දුන් ඉහළම පිළිගැනීම පිළිබඳ සිය ස්තුතිය පළ කළ නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සිය තනතුරේ වැඩ කටයුතු ආරම්භ කළේය. එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ අධිකරණ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා සියලුම දෙනාගේ සහයෝගය තමාට ලබා දෙන ලෙසයි. අධිකරණ ක්‍රියාවලිය ඉහළින් පවත්වාගෙන යාම සඳහා සියලු ආගමික පූජ්‍ය, පූජකතුමන්ලා මෙහිදී නව අගවිනිසුරුතුමාට ආශිර්වාද කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා