මුල් පෙලේ පුටු දෙකක වෙනසක්

ශ්‍රී ලංකා ක්‍රිකට්

මුල් පෙලේ පුටු දෙකක වෙනසක්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයෙන් පසුව ක්‍රිකට් ආයතනයේ මුල් පෙලේ විධායක නිලධාරියෙකු හා ක්‍රිකට් කළමනාකාරිත්වයේ ඉහළම නිලධාරියෙකු තනතුරුවලින් ඉවත් කිරීමට සුදානම් වෙයි.

ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් ඒ වෙනුවට පත්වන නව නිලධාරීන් දෙදෙනා ක්‍රිකට් කේෂ්ත්‍රයේ ප්‍රවීණයන් වනු ඇත.මේ පත්වීම් දෙක පෙබරවාරි 1දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බංග්ලාදේශ සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නව මුහුණුවරකින් ප්‍රතිසංවිධානය කිරීමේ පළමු පියවර ලෙස මේ ප්‍රධාන තනතුරු දෙක වෙනස් කිරීමට යන බව වාර්තා‍ වේ.

එයට අමතරව පස් දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව ද පෙබරවාරි 1දා පත් කිරීමට කටයුතු යොදා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එම නව තේරීම් කමිටුවට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු හා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඇතුළුව දසදෙනෙකුගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යෝජනා කර ඇත. වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩව ක්‍රිකට් තේරීම් කමිටුවේ කටයුතු කරන සාමාජිකයන් නව තේරීම් කමිටුවට පත් නොකිරීමටද අවධානය යොමුවි ඇත.

නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කළ වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට නායකයන් දෙදෙනෙකු නම් කිරීමේ වගකීම පැවැරීමටද ක්‍රීඩා ඇමැතිවරයා සුදානම් බව පැවැසේ. ටෙස්ට් කණ්ඩායමට නායකයෙකු හා එක්දි, විස්සයි-20 තරගවලට තවත් නායකයෙකු පත් කිරීම සැලසුම වේ.

මේ අතර ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අතර හමුවක් ලබන සතියේදී පැවැත්වීමට කටයුතු යොදා ති‍බේ.

එම හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ නව වෙනස්කම් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇතැයි ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් 'දිනමිණ'ට පැවැසීය. 'හරූන් ලෝගාට්' වාර්තාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීම හා තරුණ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා පිලේ වැඩි අවස්ථාවක් ලබාදීම වැනි කරුණු කෙරෙහි ඇමැතිවරයාගේ පූර්ණ අවධානය යොමුව පවතින බව එම නිලධාරියා පැවැසීය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා