44 වැනි අගවිනිසුරු මොහාන් පීරිස් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

44 වැනි අගවිනිසුරු මොහාන් පීරිස් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා වශයෙන් මොහාන් පීරිස් මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (15) දහවල් 12.30 ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඒ මහතා දිවුරුම්දුන් අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මොහාන් පීරිස් මහතාගේ පවුලේ ඥාතීන්ද එක්ව සිටියහ.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ පත්කිරීම සිදුකර තිබෙන අතර මොහාන් පීරිස් මහතා ශ්‍රී ලංකාවේ හිටපු නීතිපතිවරයෙකුද වෙයි. වසර ගණනාවක අත් දැකීම් ඇති මොහාන් පීරිස් මහතා මෙරට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.

අගවිනිසුරු තනතුර සඳහා මොහාන් පීරිස් මහතාගේ නම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු සභාව වෙත පෙරේදා (14) දැනුම් දී තිබෙන අතර කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (15) රැස්වූ එම පාර්ලිමේන්තු සභාව විසින් අදාළ නම සඳහා අනුමැතිය ලබාදුන්හ.

එයින් අනතුරුව පාර්ලිමේන්තු සභාවේ නිර්දේශය යළි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයා පත්කෙරිණි. අගවිනිසුරුවරයෙකු ඉවත් කිරිමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊළඟ පියවර වන්නේ නව අගවිනිසුරුවරයකු පත්කිරිම වන අතර පාර්ලිමේන්තු සභාව විසින් නිර්දේශ කරන කරුණු සැළකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව අගවිනිසුරුවරයකු පත්කළ බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු සභාව සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත වන අතර ඒ සඳහා කතානායක චමල් රාජපක්ෂ, අගමැති දි.මු ජයරත්න, විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එච්.එම් අස්වර් හා ඩී. ස්වාමිනාදන් මහත්වරු ඒ සඳහා අයත් වෙති.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත්කළ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදි තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමඟ ඒ මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත්කිරිමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අස්සන් තැබිය. ඒ අනුව පුරප්පාඩු වූ අගවිනිසුරු ධූරය සඳහා නියෝජිතයෙකු පත්කිරීම වෙනුවෙන් මෙම පාර්ලිමේන්තු සභාව ඊයේ (15) රැස් විය.

කොළඹ ශාන්ත ජෝෂප් සහ රාජකිය විද්‍යාලවල ආදි ශිෂ්‍යයකු වන මොහාන් පීරිස් මහතා නීති විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව 1975 වසරේදී නීතීඥවරයකු වශයෙන් දිවුරුම් දුන් අතර ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩී. ආර්. පී. ගුණතිලක, ජනාධිපති නීතීඥ දයා පෙරේරා මහත්වරුන් යටතේ නීතීඥ වෘත්තියට අත්පොත් තැබුවේය.

රජයේ නීතීඥයකු ලෙස 1981 වසරේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වූ මොහාන් පීරිස් මහතා රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකු වශයෙන් 1995 වසරේ විශ්‍රාම ගියේය.

ඉන් අනතුරුව ඒ මහතා පෞද්ගලික නීතිඥවරයෙකු ලෙස කටයුතු කරමින් මහත් ආන්දෝලනයට ලක් වූ නඩු රැසකට පෙනී සිටියේය.වසර 33 ක කාලයක් නීතීඥයකු වශයෙන් සේවයකර ඇති පීරිස් මහතා අපරාධ හා සිවිල් නඩු පිළිබඳ දක්ෂ නීතීඥයකු ලෙස නමක් දිනා සිටී. ඇමෙරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලය, හාවඩ් නීති විද්‍යාලය, කේම්බ්‍රිජ්හි ජීසස් කොලේජ් යන ආයතනයන්හි ඒ මහතා නීතිය පිළිබඳ හදාරා ඇත.

ජනාධිපති නීතිඥ සී. ආර්. ද සිල්වා මහතා විශ්‍රාම යාමෙන් පසු මෙරට 25 වන නීතිපතිවරයා වශයෙන් පත්කෙරුණු මොහාන් පීරිස් මහතා 2008 වසරේ දෙසැම්බර් මස 18 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 2011 වසරේ අගෝස්තු මස 31 දා නීතිපති ධූරයෙන් විශ්‍රාම ලැබූ පීරිස් මහතා කැබිනට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලදුව මේ දක්වා එම තනතුරේ කටයුතු කළේය.

සටන් විරාම කමිටුවේ නීතිපති නියෝජිතයා ලෙස මෙන්ම එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් කමිටුව හමුවේ මෙරට කටයුතු සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ නියෝජිතවරයකු ලෙසද කටයුතු කළ මොහාන් පීරීස් මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජ්‍ය සභාපතිවරයකුද වෙයි.

මොහාන් පීරිස් මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති උපදේශකවරයකු ලෙස ද කටයුතු කළේය.

මොහාන් පීරිස් මහතා දිවුරුම් දීමේ අවස්ථාවට ඇමැතිවරුන් වන මහාචාර්ය ජී.එල් පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, රවුෆ් හකීම් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුද එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා