ධාරානිපාත වර්ෂාවෙන් 134,000ක් පීඩාවට

ධාරානිපාත වර්ෂාවෙන් 134,000ක් පීඩාවට

තෙදිනක් තිස්සේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දෙදෙනකු මරණයට පත්ව දිස්ත්‍රික්ක 5ක එක්ලක්ෂ තිස් හතරදාහක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, අම්පාර, මඩකලපුව, දිස්ත්‍රික්ක පහ තුළ ඇතිව ඇති අයහපත් කාලගුණය හේතුවෙන් තවත් 667 දෙනකු අවතැන්ව ඇති අතර ඔවුන් කඳවුරු 22ක් තුළ රඳවා ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටී.

ධාරානිපාත වර්ෂාව සමඟ නිවාස 20ක් පූර්ණවශයෙන් හානියට පත්ව තවත් නිවාස 188ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇතැයිද කොඩිප්පිලි මහතා කියයි.

නුවරඑළියේ දියේ ගසාගෙන යෑම හේතුවෙන් සහ බණ්ඩාරවෙල ගසක් කඩාගෙන වැටීමෙන් මෙම මරණ සිදුව ඇත. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලාශ ගණනාවක් පිටාර මට්ටමට පැමිණ ඇති බවත් ඉන් අනුරාධපුරය හා පොළොන්නරුවේ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බවත් මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු වසා ඇති බවත් ඒ මහතා කියයි.

විපතට පත්වූවන් සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන්, සමෘර්ධි නිලධාරීන්, ආපදා කළමනාකරණ නිලධාරීන් ඇතුළු සහන කණ්ඩායම් මඟින් සහන සැලසීමේ කටයුතු සලසා ඇතැයිද කොඩිප්පිලි මහතා කියා සිටියේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා