ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 4කින් ජය ලබති

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 4කින් ජය ලබති

සංචාරක කොදෙව් කාන්තා ක්‍රිකට් පිලට ‍එරෙහිව රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති දෙවැනි එක්දින තරගය පන්දු 27ක් ඉතිරිව තිබියදී කඩුලු 4 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්විය.

මේ ජයග්‍රහණයත් සමග තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයෙන් පසු‍වේ. කොදෙව් පිල ලබාදුන් ලකුණු 180 ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස චමරි පොල්ගම්පොල ලකුණු ලබාගැනීමට පෙර දැවීගියේය. මුළු ලකුණු 40දී ලකුණු 26ක් ලබාසිටි චමරි අතපත්තුගේ කඩුල්ල බිඳ වැටුණු අතර අද තරගයේදී එක්දින ක්‍රිකට් වරම් හිමිකරගත් නිපුනි හංසිකා ලකුණු ලබාගැනීමට පෙර දුවද්දී දැවී යෑමට හසුවිය.

 තරගය ජයග්‍රහණය වෙත ගෙනගිය දීපිකා රසාංගිකා පන්දු 91කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 55ක් රැස් කළ අතර ඩිලානි මනෝදරා නොදැවී ලකුණු 38ක් වාර්තා කළාය. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 180ක් රැස් කළේය.

කොදෙව් ඉනිමේ දෙවැනි ඕවර ක්‍රියාත්මක කළ ප්‍රබෝදනී පිට පිට පන්දු දෙකකින් කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. ආරම්භක පිතිකාරිනි ජුනේ ඔග්ලේ එක් ලකුණු ලබාසිටියදී පන්දු කඩුල්ලේ වැදෙමින් දැවී ගිය අතර දෙවන පන්දුවෙන් ස්ටෙෆ්නි ටේලර් ලකුණු ලබාගැනීමට පෙර කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය.

සටන්කාමී ඉනිමක් දියත් කළ ෂෙමානි කැම්බල් ලකුණු 105ක් රැස්කළාය. ඊට හත‍රේ පහර 8ක් හා හයේ පහර 4ක් ඇතුළත් වු අතර පන්දු 138ක් වැයවිය. කොදෙව් ඉනිමේ ලකුණු 10 සීමාව පසුකල හැකි වුයේ ක්‍රීඩිකාවන් තිදෙනකුට පමණක් වීම විශේෂ සිදුවීමකි. පන්දු යැවීමේදී ශ්‍රී පාලි වීරක්කොඩි සහ උදේශිකා පබෝධිනී කඩුලු 3බැගින් දවාලීය. තෙවැනි එක්දින තරගය හෙට පැවැත්වේ.

කොදෙව් -180/8 (ඕවර 50) ෂෙමානි කැම්බල් 105, ඩ්‍රැන්ඩා ඩොටින් 35, ශකිරා සෙල්මන් 12 (ශ්‍රීපාලි වීරක්කොඩි 19/3, උදේශිකා පබෝධිනී 35/3)

ශ්‍රී ලංකාව-184/6 (ඕවර 45.4) දීපිකා රසාංගිකා 55, ඩිලානි මනෝදරා නොදැවී 38, චමරි අතපත්තු 26 (ස්ටෙෆානි ටේලර් 31/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා