තහනම් ගෙඩි කා ඇඟ පුම්බන අය කෙට්ටුකර මට්ටු කිරීමේ සූදානමක්

තහනම් ගෙඩි කා ඇඟ පුම්බන අය කෙට්ටුකර මට්ටු කිරීමේ සූදානමක්

තහනම් උත්තේජක අඩංගු ශක්ති ජනක ලබාගන්නා කායවර්ධන ක්‍රීඩකයන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය පියවර ගෙන ඇත.

තහනම් උත්තේජක භාවිතය පිළිබඳ සිදු කෙරෙන පරීක්ෂණවලදී වැරදිකරුවන් බවට පත්වන ක්‍රීඩකයන්ට මෙන්ම පුහුණුකරුවන්ට දැඩි දඬුවම් පැනමිමට හැකි නීති-රීති සම්පාදනය ‍කොට ඇතැයි කායවර්ධන සම්මේලනයේ ලේකම් එන්.එස්.ජයවර්ධන මහතා පවසයි.

මේ වසරේ පැවැත්වෙන සියලු ජාතික මට්ටමේ තරගවලට සහභාගීවන ක්‍රීඩකයන් හා අන්තර්ජාතික තරගවලට ඉදිරිපත්වන ක්‍රීඩකයන් තහනම් උත්තේජන පරීක්ෂාවට ලක්කිරීමට සම්මේලනය බලාපොරොත්තු වේ. ක්‍රීඩාවේ විනය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් මේ වසරේ සිට එම පරීක්ෂණ අඛන්ඩව සිදු කිරීමට තීරණයවී තිබේ.

ශ්‍රී ලංකාවේදී නිමාවට පත්වු දකුණු ආසියා වෙරළ ක්‍රීඩා උලෙළේදී සිදුකළ පරික්ෂණවලදී කායවර්ධන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තහනම් උත්තේජන භාවිතයට වැරදිකරුවෝ වුහ. එම ක්‍රීඩකයන්ට තරග තහනමක් පැනවීමටද ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගත්තේය.

ලබන වසරේ ශ්‍රී ලංකාවේදී ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ තරගය පැවැත්වීමට බලාපොරොත්තු වන හෙයින් කායවර්ධන ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිතයෙන් වැළකී සිටීම පිළිබඳ විශේෂ වැඩ සටහන් කිහිපයක්ද සංවිධානය වේ.

නිලවරණය 31දා

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය මාර්තු 31වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. නිලවරණයට අදාල නාමයෝජනා භාර ගැනීම මාර්තු 1දා දහවල් 12.30ට අවසන් වේ.

මෙවර නිලවරණයට දැනට සභාපති තනතුරේ සිටින කපිල කුමාර මහතාගේ කණ්ඩායමක් ඉදිරිපත්වීමට සුදානමින් සිටින බව වාර්තාවේ. හිටපු සභාපතිවරුන් දෙදෙනෙකුට විනය විරෝධී චෝදනා ගොනුවීම හේතුවෙන් මෙවර නිලවරණයට ඉදිරිපත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා