ආහාර කුණුවෙන්න දෙන්න බෑ!

ආහාර කුණුවෙන්න දෙන්න බෑ!

ලොකු ලූනු කිලෝ ලක්ෂ ගණනක් කුණු වෙමින් පවතින බව දැනගන්නට ලැබේ. ඒ ලක් සතොස මඟින් ගොවීන්ගෙන් මිලට ගෙන ගබඩා කර තිබූ ලොකු ලූනු තොගයකි. අප්‍රේල් මාසය දක්වා පරිභෝජනයට ඇත්තේ එම ලොකු ලූනු තොගය බව ද අසන්නට ලැබේ. මේ ලූනු තොගයෙන් කොටසක් ගබඩා ආසන්නයේ වළ දමා ඇති බව ද දැනගන්නට ලැබේ. ලොකු ලූනු නරක් වන්නේ නිසි ප්‍රමිතියකින් තොරව ගබඩා කිරීම නිසා ය. දැන් මෙහි ප්‍රතිඵලය වන්නේ අවුරුදු උත්සව සමය වන විට ලොකු ලූනු මිල ඉහළ යෑමය. ‍එහෙත් මෙහි ගොඩ ගසා නරක් වෙමින් තිබූ ලොකු ලූනු තොගය දැනටමත් ඉවත් කර එම අඩුව පිරිමැසීමට වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබිය හැකිය.

අප අසවල් ආහාර ද්‍රව්‍යයෙන් ස්වයංපෝෂිත වී ඇතැ’යි කීවද; කාටවත් එයින් යහපතක් සිදු වී නැත. ගොවියාට තම අස්වැන්න සඳහා නියම මිලක් ලැබී නැත. පාරිභෝගිකයාට අඩු මිලට ප්‍රමිතියෙන් ‍යුතු ආහාර ද්‍රව්‍ය ද කිසි දිනෙක ලැබී නැත. අපට අසන්නට ලැබුණු ජනප්‍රිය වචන දෙකක් වූයේ අතරමැදියා හා මෆියා යන්න ය. එක්කෝ අතරමැදියා ගසාකයි. නැතහොත් මෆියාව බඩු සඟවයි. අතරමැදියා හා මෆියාව රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු - තීරණ ගන්නේ නම්; එහි ප්‍රතිඵල සුබ දායක නැත.

වට්ටක්කා හැදෙන කාලයට ඒවා විකුණාගත නො හැකිව කිලෝ ගණනින් වන අලින්ට පූජා කිරීම අප හැමදාම අත්විඳින ඛේදවාචකයකි. දෙහි කාලයට දෙහි කුණු කොල්ලයට අලෙවි කරනු ලැබේ. අමුමිරිස්, පොඩි ලූනු, වම්බටු, මුරුංගා යන කොයි දේටත් සිදු වන්නේ එක ම සන්තෑසියකි. අපට විධිමත් ගබඩාකරණයක් නැත. විධිමත් ප්‍රවාහන ජාලයක් නැත. විධිමත් වෙළෙඳපොළ යාන්ත්‍රණයක් ද නැත. මේ හේතුව නිසා ගොවියාත් අමාරුවේ ය. පාරිභෝගිකයාත් අමාරුවේ ය. අන්තිමේ වෙළෙන්දාත් අමාරුවේ ය. මේ කණ්ඩායම් තුනට ම ගැළපෙන නව ආහාර වැඩපිළිවෙළක් සකස් විය යුතු ය.

අලුත් ආණ්ඩුව දේශීය ආර්ථිකය ගොඩනැඟීම සඳහා ගනු ලැබූ වැදගත් පියවර ගණනාවක් තිබේ. ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා ඊට අදාළ අමාත්‍යාංශයක් පිහිටුවීම ඒ අතර ප්‍රධාන වෙයි. ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස පරිණත දේශපාලකයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කටයුතු කරයි. ගොවියා දෙස ද, පාරිභෝගිකයා දෙස ද, වෙළෙන්දා දෙස ද යුක්ති සහගත ලෙස බලන ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් අපට අවශ්‍ය වේ. එය මෙතෙක් කල් පැවැතියේ අවුල් සහගත ලෙස ය.

කෘෂිකර්මය මේ රටේ ප්‍රධාන නිෂ්පාදන මාර්ගය ලෙස පවතින්නේ ඈත අතීතයේ සිට ය. අපේ භූමිය, දේශගුණය හා ස්වාභාවික ගංඟා ජාලය ද පිහිටා ඇත්තේ කෘෂිකර්මයට යෝග්‍ය ලෙස ය. ඒ හැරෙන්නට රජරට වියළි කලාපයේ වැව් පද්ධතිය ද අපේ කෘෂිකර්මය ශක්තිමත් කර තිබේ. අඩු ගණනේ අපේ මුළු ජනගහනයෙන් 75% ක් වත් කුමන හෝ ආකාරයකින් ගොවිතැනට සම්බන්ධ ය. අතීතයේ නම් රජතුමාත් හොඳ ගොවියෙකි. හෙවත් ගොවි රජෙකි. නව ජනාධිපතිවරයා ද රජරට ගොවි පවුලකින් පැවැත එන තැනැත්තෙකි. එබැවින් අලුත් ආණ්ඩුව යටතේ සාර්ථක කෘෂිකාර්මික වැඩපිළිවෙළක් අපේක්ෂා කළ හැකි ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්ද සටනේ එක් මාතෘකාවක් ලෙස කෘෂිකර්මය ගෙන තිබිණි. එතුමාගේ ආර්ථික වැඩසටහනෙහි ප්‍රධාන තැනක් ආහාර සුරක්ෂිතතාවට හා ගොවියාගේ ආර්ථිකය නැංවීමට ලබා දී තිබිණි. නව ජනාධිපතිවරයාගේ තර්කය වන්නේ පොහොර සහනාධාරයෙන් පමණක් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රබෝධනයක් ඇතිකළ නො හැකි බව ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන ලෙස පොහොර හා කෘමිනාශක ද නියම ප්‍රමිතියෙන් ලබා ගත යුතුය. එසේ නො වුණහොත් වකුගඩු රෝගය රට පුරා පැතිරෙන්නේ ය.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් පිහිටුවා ඇත්තේ පළමු වතාවට ය. එය දුර දක්නා ඥානයෙන් යුතු ව ගනු ලැබූ තීන්දුවක් සේ සැලැකිය හැකි ය. ලෝක ආර්ථික විශේෂඥයන් ආහාර සුරක්ෂිතතාව ගැන කතා කරන්නට වූයේ 1970 ගණන්වල සිට ය. ආහාර සුරක්ෂිතතාව යනු පුළුල් විෂයයකි. අද එය බටහිර විශ්වවිද්‍යාලවල ජනප්‍රිය හා වැදගත් විෂයයක් බවට පත් ව තිබේ. ආහාර නිෂ්පාදනයේ සිට විධිමත් ව ගබඩාකරණයට ලක් කිරීමත්, ඒවා කල්තබා ගැනීමේ විද්‍යානුකූල ක්‍රමවේද හඳුන්වාදීමත් එහි මුල් කොටසට අයත් වේ. දෙවන කොටසට ප්‍රවාහනය හා වෙළෙඳපොළ යාන්ත්‍රණය ද ඇතුළත් කර තිබේ.

අප ආහාර අර්බුද ගණනාවකට මුහුණ දී ඒවායින් වැදගත් පාඩම් රැසක් ඉගෙන ගෙන ඇත්තෙමු. එහෙත් අපේ අතීත පාලකයන් ආහාර අර්බුද හමුවේ ක්‍රියාත්මක වී ඇත්තේ පැලැස්තර ඇලවීමේ ක්‍රමවේදයකට සීමා වෙමින් ය. ආසියාවේ සහල් අර්බුදය ඊට කදිම නිදසුනකි. එදා අපේ ජනතාව ගබඩා කළ වී තොගවලින් ගැටලුවට යම් විසැඳුමක් සොයා ගත්ත ද හාල්වල මිල ඉහළ ගියේ ය. රට සහලින් ස්වයංපෝෂිත වී ඇතැ’යි කියන්නේ වුව දිනෙන් - දින ම හාල් කිලෝවක මිල ඉහළට යයි. හොඳ ප්‍රමිතියේ සහල් ලබාගැනීම ද දුෂ්කර ය. අලුත් ආණ්ඩුව මේ අභියෝගය ජය ගත යුතුව තිබේ.

වී ගොවියා සිය අස්වැන්න නෙළාගැනීම සඳහා කන්නයක් බලා සිටිය යුතුය. අල ගොවියා මෙන් ම ලූනු ගොවියා ද අස්වැන්න සඳහා මාස ගණන් බලා සිටි. එම කාලය තුළ දිගින් - දිගට ම වගාවට සාත්තු කළ යුතු ය. මෙසේ දීර්ඝ කාලයක් බලා සිට එය නිසි මිලකට අලෙවි කරගත නො හැකි නම් එම ගොවිතැනෙන් වැඩක් නැත. නිදහස් වෙළෙඳපොළෙහි ඉල්ලුම් - සැපයුම් න්‍යාය මෙතනට වැඩක් නැත. රජය මැදිහත් වී ගොවි ජනතාවගේ අස්වැන්න සාධාරණ මිලකට ලබාගත යුතු ය. ඊළඟට ඒවා යෝග්‍ය පරිදි ගබඩා කොට අනාගත ප්‍රයෝජනය සඳහා යොදාගත යුතු ය.

මේ රටේ ගොවි පවුල් ලක්ෂ ගණනින් එකතු වී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ඉදිරියෙන් කතිරයක් ගසා ඇත්තේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් ය. එම පරිවර්තනයෙහි ප්‍රතිඵල ගොවියාට මෙන් ම පාරිභෝගිකයාට ද ඉතා ඉක්මනින් ලබා දෙන බව වෙනසකට මුල පිරුවෝ සහතිකයක් දී ඇත.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා